Thursday, August 23, 2018

When i saw you first


When I saw you first

My heart beat was suddenly stopped

When I saw your laugh

I forgot whole world around me

When I saw your tear

I could’nt tolerate

When I fall in love with you

I forgot my pain

When you left me

My life was stuck

පුද්ගලික විකුණුම්කරණය යනු කුමක්ද?

         

                         අලෙවිකරණ ක්ෂේත‍්‍රය තුළ නිතරම කතා බහට ලක් වන විෂයක් ලෙස පුද්ගලික විකුණුම්කරණය හඳුන්වාදිය හැක. දිනෙන් දින දියුණුවට ලක් වන අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධන කටයුතු වලට නැතුවම බැරි සාධකයක් බවට මෙය පත්ව තිබේ. මේ පිළිබඳව විවිධ මතිමතාන්තර රාශියක් ඉදිරිපත් වී ඇති අතර ඒ ඇසුරින් පුද්ගලික විකුණුම්කරණය යනු කුමක්දැයි විමසා බලමු.

භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගැනීමට පාරිභෝගිකයකුට විකුණන්නා විසින් වාණිජ වැදගත්කමකින් යුතු අදහසක් ලබා දෙන පුද්ගලික ක‍්‍රියාවලියක්.
                  -  American marketing association - 
                                         ඉහතින් දක්වන ලද අදහසට අනුව පෙනී යන්නේ පුද්ගලික විකුණුම්කරණය තුළින් පාරිභෝගිකයාට අදාළ භාණ්ඩය හෝ සේවාව පිළිබඳව වැදගත් අදහසක් ලබා දෙන බවයි. ඒ තුළින් පාරිභෝගිකයාට භාණ්ඩය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබේ. එසේම මෙය දෙදෙනෙක් අතර සිදු වන සබධතාවයක් නිසා පෞද්ගලිකත්වයක් ඒ තුළින් දක්නට ලැබේ. ඒ අනුව මෙම නිර්වචනය තුළින්  පුද්ගලික විකුණුම්කරණය පාරිභෝගිකයාට වැදගත් වන යම් අදහසක් ලබා දෙන පෞද්ගලික ක‍්‍රියාවලියක් ලෙස හඳුනාගත හැකිය.

                                             පෞද්ගලික විකුණුම්කරණයේ ඉතිහාසය පිළිබඳව සලකා බලන විට එය පැරණි ග‍්‍රීසිය තරම් ඈතට ගමන් කරයි. එහෙත් එය විධිමත් ලෙස ආරම්භ වූයේ 18 වන සියවසේ දී කාර්මික විප්ලවයත් සමඟ බි‍්‍රතාන්‍ය තුළිනි. 19 වන හා 20 වන සියවස අගභාගයේ දී විකුණුම් විකාශනය විවිධාකර අවධි කිහිපයක් යටතේ වර්ධනය විය. 19 වන සියවස අගභාගයේ දී කාර්මික විප්ලවය හේතුවෙන් ලෝකය පුරා මිනිසුන් හා ජාතීන් අතර භාණ්ඩ හුවමාරු කිරීම විශාල වශයෙන් වෙනස් විය. මෙම කාලයේ දී මූලෝපායික සම්පත් හා ප‍්‍රාග්ධන සමාගම් මගින් පාලනය කරන ලදී. එබැවින් විකුණුම් සාර්ථකත්වය රදා පැවතුනේ විකුණුම් මුදල් රැස්වීම මතය. ඒ 1860 සිට 1960 දක්වා කාලයේ දීය. 1960 දශකයේ සිට අලෙවිකරණයට අලූතින් ආරම්භ කරන ලද නව යුගයක් ආරම්භ විය. එය තොරතුරු යුගයක් විය. 1960 සිට මේ දක්වා තොරතුරු විකිණීම සිදු කරන ආකාරය, විධික‍්‍රම සහ ආකල්ප කොතරම් වෙනස් ද යන්න ගැන පරමාදර්ශීව වෙනස් වී ඇත. පාරිභෝගිකයින්ට පුළුල් සේවාවක් සැපයීම සඳහා කුසලතා සහිත දක්ෂතා ඇති පුද්ගලයින් අවශ්‍ය විය. භාණ්ඩ විකිණීම සඳහා පාරිභෝගිකයින් වෙත එළඹීමට ව්‍යාපාරිකයින්ට නොහැකි වූ අතර දක්ෂ විකුණුම් පුද්ගලයින් ඒ සඳහා යොදා ගන්නා ලදී.  කාර්මික විප්ලවය මගින් නිෂ්පාදකයින්ගේ අවශ්‍යතා ඉහළ ගිය අතර නවීන පුද්ගලික අලෙවිය 20 වන සියවසේ මුල් භාගයේ දී ආරම්භ විය. දේශීය භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා වෙළඳපලවල් ලබා ගැනීමේ අවශ්‍යතාව මත මුලින්ම සංචාරක විකුණුම්කරුවන් පිරිසක් බිහි විය. භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයින්ට අවශ්‍ය තොරතුරු සන්නිවේදනය කිරීමේ ප‍්‍රධානම මාර්ගය පුද්ගලික අලෙවිකරණයයි. පාරිභෝගිකයකු සමඟ සන්නිවේදනය කරන ප‍්‍රධානම ක‍්‍රමයක් ලෙස සමාගම් මෙය භාවිතා කරයි. නිෂ්පාදන විකිණීම, ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිෂ්පාදකයින් විසින් භාවිතා කරනු ලබන වඩාත්ම සාම්ප‍්‍රදායික ක‍්‍රමය පුද්ගලික වෙළඳාමයි. ප‍්‍රචාරණ තාක්ෂණය දියුණු කිරීමට පෙර විකුණුම් ප‍්‍රවර්ධනය සඳහා භාවිතා කලේ මෙයයි. පුද්ගලික විකුණුම් ප‍්‍රචාරක සහ වෙනත් විකුණුම් ක‍්‍රම වල ආරම්භකයාය.

                                           පුද්ගලික විකිණුම්කරුවන් පාරිභෝගිකයින් වෙත භාණ්ඩයක්, සේවාවක් හෝ විසඳුමක් ලබා දීම සිදු කරයි. විකුණුම්කරුවා විසින් සේවාලාභියාගේ නිශ්චිත අවශ්‍යතාවන්ට ප‍්‍රතිලාභ ලබා දෙයි. වර්තමානයේ මේ තුළින් දිගු කාලීන සේවාදායක සබධතා වර්ධනය කර ගෙන තිබේ. පුද්ගලික විකුණුම් කුඩා ව්‍යාපාර සඳහා වැදගත් අලෙවිකරණ මෙවලමක් වන අතර විශේෂයෙන්ම පාරිභෝගිකයින් වෙනුවට වෙනත් ව්‍යාපාර සඳහා සංකීර්ණ හෝ ඉහළ වටිනාමක් ඇති නිෂ්පාදන හා සේවාවන් විකිණීම සිදු කරයි. විකුණුම් නියෝජිතයින් සාර්ථක ලෙස විකිණීම සඳහා ඇති අවස්ථා ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ පුද්ගලික විකුණුම් හැකියාවන් භාවිතා කරයි. අනාගත අපේක්ෂාවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගැනීමට ඔවුන් අපේක්ෂා කරන අතර එම අවශ්‍යතා සඳහා නිසි විසඳුම් සපයන භාණ්ඩයක් හෝ සේවාවක් හෝ මුදල් සඳහා වටිනාකම් නියෝජනය කරයි. අපේක්ෂාවන්ට විරෝධතා ඉදිරිපත් වුව හොත් වෙළඳ නියෝජිතයින් විරෝධතා මැඩපැවැත්වීම සඳහා ඔවුන්ගේ බලය පාවිච්චි කර නිෂ්පාදන හෝ සේවාව මිල දී ගැනීමෙන් නිවැරදි තෝරා ගැනීම සිදු කරන බවට සහතික කරති. දිගු විකුණුම් චක‍්‍රයක් අවශ්‍ය වන භාණ්ඩ අලෙවිය සඳහා පෞද්ගලික විකුණුම් වැදගත් වේ. ව්‍යාපාරික කටයුතු වල දී අලෙවිකරණයේ දී අපේක්ෂිත අවශ්‍යතා හඳුනා ගැනීම, පිරිවිතරයන් වර්ධනය කර ගැනීම, විභව සැපයුම්කරුවන් තෝරා ගැනීම, සැපයුම්කරුවන් ඇගයීම සහ අවසාන මිල දී ගැනීමේ තීරණය ඇතුළත් වේ. සැපයුම්කරුවන්ගේ හැකියාවන් සහ නිෂ්පාදන ප‍්‍රතිලාභ පිළිබඳව අනාගත ගණු‍ද‍ෙනුකරුවන් හොඳින් දැනුවත්බව සහතික කර ගැනීම මගින් විකුණුම් නියෝජිතයින්ට එක් එක් අදියර කෙරෙහි බලපෑම් කල හැකිය. අනාගත ගණුදෙණකරුවන්ට නිෂ්පාදන මිලකරණය සහ තාක්ෂණික තොරතුරු තීරණය කිරීම සඳහා අපේක්ෂා කරන අතර ඔවුන් ඒවායේ විකුණුම් චක‍්‍රය පුරා වැදගත් තීරණ ගන්නන් සමඟ සම්බන්ධතා පවත්වති. 

                                                පෞද්ගලික විකුණුම්කරණය දෙයාකාරයකින් සිදු කල හැකිය. එනම්, අභ්‍යන්තර විකුණුම්කරණය හා භාහිර විකුණුම්කරණය වශයෙනි. අභ්‍යන්තර විකුණුම්කරණයේ දී ලිපිකරු මට්ටමට ඉහළින් දුරකථනයෙන් හෝ සිදු කරන අලෙවිය ප‍්‍රධාන සිල්ලර වෙළඳාම සඳහා අවශ්‍ය නිෂ්පාදන දැනුම සහ ඉදිරිපත් කිරීමේ කුසලතාවන් අවශ්‍ය වේ. අභ්‍යන්තර විකුණුම්කරණය තුළ සැලසුම් කිරීම සහ ඉක්මනින් තොරතුරු එකතු කිරීම අවශ්‍ය වේ. භාහිර විකුණුම්කරණයේ දී ගණුදෙනුකරුගේ නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයක හෝ තෙවන පාර්ශවීය ස්ථානයකට ගොස් සිදු කරනු ලබයි. උදාහරණ වශයෙන් දේපළ වෙළඳාම, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය දැක්විය හැකිය. උපදේශන, වෙළඳපල පර්යේෂණ, මූල්‍ය, ඉංජිනේරු, ඉදිකිරීම්, උපකරණ අලෙවියේ දී අභ්‍යන්තර හෝ භාහිර යන  ක‍්‍රම දෙකම භාවිතා කල හැකිය. 

                                පුද්ගලික විකුණුම්කරණය සිදු කරන ආකාරය අනුව වර්ග කිහිපයකි. එනම්,
1. ටෙන්ඩර් විකිණීම –
 මිල දී ගන්නන් විසින් පුවත්පත් මගින් විවෘත ටෙන්ඩර් කැඳවනු ලබන අතර සමාගම විසින් මිල  ගණන් ගෙවීමේ නියමයන් හා කාල සීමාව සමඟ ඉදිරිපත් කල යුතුය. සාමාන්‍යයෙන් සියලූම රජයේ මිල දී ගැනීම් වල දී මුද්‍රා තැබූ ටෙන්ඩර් කැඳවනු ලබන අතර අඩුම ලංසුකරු වෙත ඇණවුම් ලබා දිය හැකිය.

2. සාකච්ඡා හරහා විකිණීම – 
විශාල සමාගම් වල දී ගනුදෙණුකරුවන්ගේ ස්ථානයේ දී සාකච්ඡා වලින් අනතුරුව ඇණවුම් අවසන් කරයි. විකුණුම්කරුගේ කාර්ය සාධනය විශ්වසනීයත්වය සහ අලෙවියෙන් පසු සේවාව තහවුරු කර ගනියි. පෞද්ගලික අංශයේ සමාගම් මෙම මාර්ගය තෝරා ගැනීම වේගවත් වන අතර අවිධිමත් හා විධිමත් සාකච්ඡා මගින් ගැටළු විසඳා ගනී.

3. දොරින් දොරට ගොස් විකිණීම –
 මෙම ක‍්‍රමය යටතේ සමාගමේ විකුණුම්කරු අනාගත ගැණුම්කරුවන් වෙත විකිණීම සඳහා ඇති හැකියාව සොයා බැලීම අපේක්ෂා කරයි. මෙම ක‍්‍රමය ගෘහස්ථ නිෂ්පාදන සඳහා සහ නව නිෂ්පාදන හඳුන්වාදීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරයි. මෙම ක‍්‍රමය ග‍්‍රාමීය, අර්ධ නාගරික සහ නාගරික ප‍්‍රදේශ වල දක්නට ලැබේ. ඉංදියාවේ සබන්, ෂැම්පු, සාරි විකිණීම මේ සඳහා හොඳම නිදසුන් සපයයි. 

4. කවුන්ටරයේ විකිණීම –
 මෙම ක‍්‍රමය තුළ සියලූම සිල්ලර වෙළඳසැල් වල විකිණුම්කරුවන්ගේ නිෂ්පාදන පමණක් අලෙවි වන අතර මෙම ක‍්‍රමවේදය සියලූ පාරිභෝගික භාණ්ඩ සඳහා යොදා ගනී.  මෙම වර්ගයේ අලෙවිකරුවන් වැඩි වශයෙන් ඉංදියාවේ සහ බොහෝ ආසියාතික රටවල දක්නට ලැබේ. ඉංදියාවේ ඇගළුම් ද්‍රව්‍ය, රෙඳිපිළි, නිමි ඇඳුම්, සපත්තු, වර්ණ රූපවාහිනී, ශ‍්‍රව්‍ය දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන, තීන්ත, අහාර නිෂ්පාදන මේ ක‍්‍රමයට අලෙවි කරනු ලබයි.
 උදා: Bata, philips, BPL, Sony, asian paints, zodiac gwalior rayon, bombay dyeing, mafatlal, pier cardian sell   
                             
                               පුද්ගලික අලෙවිකරණය බොහෝ ව්‍යාපාරයන් තුළ දක්නට ලැබෙන අතර ඒ සඳහා හොඳම උදාහරණයක් වන්නේ සුවඳ විලවුන් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය විකිණීමයි. එහි දී පාරිභෝගිකයින්ට අදාළ නිෂ්පාදනය පිළිබඳ එය භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගත හැකි අතර ඒවා පරීක්ෂා කර බැලීමට ද අවස්ථාව හිමි වේ. ඉහළ මිලක් සහිත නිෂ්පාදන විකුණා ගැනීමට සුලබව භාවිතා කරන්නේ පුද්ගලික විකුණුම්කරණයයි. හොඳම උදාහරණය වන්නේ මෝටර් රථ, කාර්යාලීය උපකරණ සහ අනෙකුත් උපකරණයි. සාමාන්‍යයෙන් නිෂ්පාදනයක් ඉහළ ඒකක වටිනාකමක් තිබේ නම් සහ එහි ප‍්‍රතිලාභ ප‍්‍රදර්ශනය කිරීම අවශ්‍ය නම් එය පෞද්ගලික විකුණුම් සඳහා සුදුසු වේ. උදාහරණයක් වශයෙන් විශ්වකෝෂයක් අධික මිල භාණ්ඩයක් වන අතර බොහෝ අයට එහි අවශ්‍යතාවක් නොදැනේ. පසුව එහි වටිනාකම පාරිභොගිකයා විසින් වටහා ගත් පසු පුද්ගලික අලෙවිකරණය හරහා එය විකුණා ගැනීම පහසුය. අතිශය තාක්ෂණික නිෂ්පාදන වන පරිගණක වැනි දේ පුද්ගලික විකුණුම්කරණය තුළින් අලෙවි කර ගත හැක. සමාගමකට මාධ්‍ය දැන්වීමක් සිදු කිරීමට පවා පුද්ගලික විකුණුම්කරණය අත්‍යවශ්‍ය වේ. අනෙකුත් ප‍්‍රවර්ධන ක‍්‍රම වලට වඩා පුද්ගලික විකුණුම්කරණයට අඩු මුදලක් වැය වේ. පුද්ගලික අලෙවිකරණය විවිධ අරමුණ මත පිහිටා ක‍්‍රියාත්මක කරයි. එනම්, 

x ප‍්‍රවර්ධන මිශ‍්‍රණයේ වෙනත් අංගයක් නොමැති විට සම්පූර්ණ විකුණුම් කාර්ය සිදු               කරයි.
x පවත්නා ගනුදෙණුකරුවන්ට සේවා සැපයීම හා වර්තමාන පාරිභෝගිකයින් සමඟ             සබඳතා පවත්වා ගෙන යාම. 
x නව ගනුදෙණුකරුවන් හඳුනාගැනීම.
x විකුණුම් වැඩි කිරීම සඳහා නිෂ්පාදන ප‍්‍රවර්ධනය.
x නිෂ්පාදන රේඛාවේ වෙනස්කම් පිළිබඳව පාරිභෝගිකයින්ට තොරතුරු සැපයීම.
x තීරණ ගැනීම සඳහා ගනුදෙණුකරුවන්ට සහාය වීම.
x සංකීර්ණ නිෂ්පාදන සඳහා පාරිභෝගිකයින්ට තොරතුරු සැපයීම.
x වෙළඳපලට අදාළ දත්ත එක්රැස් කර සමාගමේ කළමණාකරු වෙත ලබා දීම.

                               පුද්ගලික විකුණුම්කරණයේ ස්වභාවය පිළිබඳව සලකා බලන විට 
එහි ලක්ෂණ රාශියක් ද හඳුනා ගත හැකිය. එනම්,
x අලෙවිකරුවන්ට ගනුදෙණුකරුවන්ගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීමට නිදහසක්             ඇත. 
x අලෙවිකරුවන් විසින් ප‍්‍රචාරණය, අලෙවි ප‍්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි.
x දෙයාකාරයකින් තොරතුරු ගලා යයි. අන්තර් ක‍්‍රියාකාරීය.
x නව නිෂ්පාදන වල ශක්තීන් සහ දුර්වලතා හඳුනාගෙන අලෙවි අංශය වෙත ලබා දෙයි. 
xප‍්‍රවර්ධන මිශ‍්‍රිතයේ වෙනත් අංශ වලට වඩා පුද්ගලික විකුණුම් සඳහා වැඩි වියදමක් දරයි.
x අපේක්ෂාවන් සොයා ගැනීම, මිල දී ගැනීමට කැමැත්තක් ඇති කිරීම, ගනුදෙණුකරුවන්      තෘප්තියට පත් කිරීම ඉලක්ක කරයි.
x පුද්ගලික විකුණුම්කරු හෝ ඔහුගේ නියෝජිතයා අතර පුද්ගල සම්බන්ධතා                       අවධාරණය කරයි.
x පාරිභෝගිකයින්ට භාණ්ඩ මිල දී ගැනීමට අවශ්‍ය පෙළඹවීම ලබා දෙයි.
x පුද්ගලික විකුණුම් යනු කලාවකි. විකුණුම්කරු විසින් නිෂ්පාදනය විකිණීමට පෙර        අදහස විකුණා දමයි.
x පුද්ගල විකුණුම් මගින් ගැණුම්කරුවන් හා ව්‍යාපාර අතර බැඳුම්කර වර්ධනය කිරීම        සඳහා අවස්ථාවන් සපයයි.
x විකුණුම්කරු හා ගනුදෙණුකරු අතර මුහුණට මුහුණලා විකිණීම සිදු වේ.
x පුද්ගල විකුණුම් රදා පවතින්නේ විකුණුම්කරු හා ගනුදෙණුකරු අතර පවතින ශක්තිමත් බැඳීම මතය.
x පුද්ගලික විකුණුම්හි විකුණන්නාගේ පරමාර්ථය සාර්ථක කර ගැනීම තුළින් ඇතිවන තෘප්තියයි.

Wednesday, August 22, 2018

විරහවද නොදනිමි

ගණ කළුවරක් සේ දිවි අඳුරු වන
හෙණ හඬක් දෝ සිත ගිගුම් දෙන
අමා රස දුන් පේ‍්‍රමයේ ඉම   
දැනෙන සිතුවිලි විරහවද මෙය

සිත රැවැට්ටූ අන්ධ පේ‍්‍රමය
අහිමි වූ විට නොසිතු විලසට
නෙත් කෙවෙනි කකියා ගලා යන
කඳුළු ගඟදෝ කියන් විරහව

සිහින් සුසිනිඳු මුඳු මොළොක් හඳ
හෙමි හෙමින් රිදවා දවාලන
නැගෙන සිතුවිලි සමඟ පොරකන
අපමණක් සිතුවිලිද විරහව

Saturday, August 18, 2018

ඉංදියානුකරණයට ලක්වන දේශීයත්වය

                                     
                            ශී‍්‍ර ලංකාව හා ඉංදියාව අතර අතීතයේ පටන්ම ඉතා සමීප සබධතාවක් පවතියි. විජය කුමාරයා මෙරටට පැමිණීමත් සමඟ එය ආරම්භ වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි පැවතුනද ජනප‍්‍රවාදයේ එන පරිදි බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටි අවධියේ උන්වහන්සේ තෙවරක් මෙරටට වැඩම කර තිබේ. විජය රජුගේ ආගමනයත් සමඟ මෙරට හා ඉංදියාව අතර පැවති සබඳතාවය ශක්තිමත් වූ නිසා පසුව වරින්වර මෙරටට බොහෝ පිරිස් ඉංදියාවෙන් සංක‍්‍රමණය වී තිබේ. එහි ප්‍රබලතම අවස්ථාවක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම රැගෙන වැඩමවීම හා සංඝමිත්තා තෙරණිය ශ‍්‍රී මහා බෝධි ශාඛාව රැගෙන වැඩවීම පෙන්වාදිය හැකිය. 

                                     මෙම සංක‍්‍රමණ තුළින් ලංකාවට බුදු දහම මෙන්ම කලා ශිල්ප, කර්මාන්ත, සිරිත් විරිත්, රාශියක්ද දායාද විය. ඒ තුළින් ලාංකිකයන්ගේ භාෂාව, ආගම, සිරිත් විරිත්, ජීවනෝපාය මාර්ගයන්, සාහිත්‍ය, කලාව, අධ්‍යාපනය, දේශපාලනය, ආදී අංශයන් පෝෂණය වූ අතර දියුණු ශිෂ්ටාචාරයක් ආරම්භ විය. ලංකාවේ හා ඉංදියාවේ සංස්කෘතීන් අතර බොහෝ සමානකම් පවතින්නේ මේ හේතුවෙන්ය. අතීතයේ දී ආරම්භ වූ දෙරටේ මිත‍්‍රත්වය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් අදටත් යහපත්ව පවතියි. එහෙත්  මෙම මිත‍්‍රත්වයම අද වන විට අප සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමා තිබෙන අයුරු කාටත් නොරහසකි. ඒ කෙසේද යත් ලංකාවේ මිනිසුන් අද අඳින්නේ, පළඳින්නේ ඉංදියානු ඇඳුම්ය. සැරසිලි කරන්නේ ඉංදියානු ඌරුවටයි. මේ තත්වයට ප‍්‍රධානතම හේතුව වන්නේ රූපවාහිනිය තුළින් ඉංදීය ටෙලි නාට්‍ය සිංහලෙන් හඬ කවා විකාශය කරවීමයි. එම ටෙලිනාට්‍ය නිර්මාණය කර තිබෙන්නේ ඉංදීය සංස්කෘතියට ගැළපෙන අයුරිනි. මෙසේ හඬ කවන ලද ඉංදියානු ටෙලිනාට්‍ය මේ වන විට ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා ආක‍්‍රමණය කර අවසන්ය. සප්නා, මේ ආදරයයි, පේ‍්‍රම දඩයම, සදහටම ඔබ මගේ, ආදරෙයි මං ආදරෙයි, ජෝදා අක්බර් මේ දිනවල විකාශය වන ඉංදියානු ටෙලි නාට්‍ය කිහිපයකි. මෙම ටෙලි නාට්‍ය තුළ  වැඩි වශයෙන් පවතින්නේ පවුල් ආරවුල්, ආදර සබඳතා, අනියම් සබධතා, උගුල් ඇටවීම්, ප‍්‍රචණ්ඩත්වය, ස්ත‍්‍රී ආධිපත්‍ය ආදියයි. මෙම ටෙලි නාට්‍ය තුළින් සමාජයට වපුරන්නේ වෛරය, තණ්හාව, පලිගැනීම, රැවටීම වැනි අහිතකර තත්වයන් මිස සමාජයට ආදර්ශයන් නොවේ. මෙම ඉංදියානු ටෙලිනාට්‍ය රූපවාහිනිය ආක‍්‍රමණය කිරීම නිසා අද වන විට දේශීය ටෙලි නාට්‍ය කර්මාන්තය බිඳ වැටීමක් දක්නට ලැබේ. ඒ තුළින් ටෙලි නාට්‍ය කර්මාන්තය ආශ‍්‍රිතව නිර්මාණය වී තිබූ බොහෝ රැකියාවන් වලටද දොරටු වැසෙන ලකුණු පහල වී තිබේ. දඬුබස්නාමානය, යශෝරාවය, වන වඳුලේ වසන්තය වැනි එදා දේශීයත්වය පිළිබිඹු කරමින් නිර්මාණය වූ ටෙලි නාට්‍ය අද නිර්මාණය නොවන්නේද ඉංදියානු ටෙලිනාට්‍ය සමඟ තරඟ කල හැකි කොපි ටෙලිනාට්‍ය බිහි වන නිසාය. 


                                          මෙම ටෙලිනාට්‍ය වැඩි වශයෙන් නරඹන්නේ කාන්තා පාර්ශවයයි. රාත‍්‍රී හත වන විට රූපවාහිය ඉදිරියේ වාඩි වන කාන්තාව නැවත පියවි ලෝකයට පිවිසෙන්නේ එක දිගට ටෙලි නාට්‍ය පහක් පමණ නරඹා රාත‍්‍රී දහයට පමණය. එම කාලය තුළ ඇයට තම දරුවන් ගැන හෝ ස්වාමියා ගැන හෝ සොයා බැලිමට අවකාශයක් නැත. මෙම ටෙලිනාට්‍ය තුළ සිටින චරිත සෑම විටම සුඛෝපබෝගී දිවියක් ගෙවන බව පෙන්නුම් කරයි. ඔවුන්ගේ ඇඳුම්, ආභරණ, මේකප් වර්ග වලින් මන මෝහනීය තත්වයකට පත් වන ලාංකීය කාන්තාව ඒවා පරිභෝජනයට යොමු වී සිටින්නේ අප සංස්කෘතියට ඒවා ගැළපෙන්නේද නැද්ද පිළිබඳවත් සොයා බැලීමට කාලය මිඩංගු නොකරමිනි. මෙම ටෙලිනාට්‍ය වල එන ප‍්‍රධාන නළුවාගේ සහ නිළියගේ පේ‍්‍රම ජවනිකා අඩුවක් නොවන අතර සිප ගැනීම්, වැළඳගැනීම්, දකින කුඩා දරුවන් පවා පාසලේ දී කතා බහ කරන්නේ පෙර දින රාත‍්‍රියේ නැරඹූ එම සිදුවීම් පිලිබඳවයි. එසේම මෙම ටෙලි නාට්‍ය තුල නිතරම විවිධ උත්සව, සාද පැවැත්වෙන අතර විශේෂයෙන් මංගල උත්සව වල දී ඉංදියානු මනාලියන් අඳින පලදින අයුරු දකින අපේ යුවතියන් ද පාරම්පරිකව උරුම වූ මංගල ඇඳුම ඉවතලයි. එපමණකින් නොනවතින ඇය ටෙලිනාට්‍ය වල දක්නට ලැබෙන මනාලිය මෙන්  ඇයටම වෙන් වූ විශේෂ නර්තනයකින් පැමිණ සිටින්නන් පිනවන්නීය. සාම්ප‍්‍රදායික ලාංකීය මනාලිය සිය මංගල දිනයේ දී ඉතා ලජ්ජාවෙන් , සංවරශීලීව සිටින්නේ  පාරිශුද්ධත්වය ද පිළිබිඹු  කරමිනි. එහෙත් වර්තමානයේ ඉංදියානු ආභාෂය ලබන මනාලිය පරම්පරා දෙකක් ඉදිරියේ සිය නර්තන දක්ෂතා ඉදිරිපත් කරන්නේ හිරි, ඔතප් බිඳිමිනි. එදා ලාංකීය මංගල උත්සවය තුළින් අප සංස්කාතියේ අනන්‍යතාවය පිළිබිඹු කලා පමණක් නොව ඒ තුළින් අනාගත පරපුරට සංස්කෘතික ඉගැන්වීමක් ද සිදු කලේය. එහෙත් අද ඒ සියල්ල ඉංදීය පුහු ආටෝප වලින් වසා අවසන්ය. 

                                 මෙම සංස්කෘතික සෝදා පාළුව ඇති කිරීම සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව කි‍්‍රයා කරන්නේ අපගේම යැයි කියා ගන්නා රූපවාහිනී නාලිකාය. ඉංදියාවෙන් ටෙලිනාට්‍යයක් මෙරටට ගෙන්වීමේ වරදක් නැත. වරද පවතින්නේ එය අප සංස්කෘතියට, සභ්‍යත්වයට නොගැළපෙන්නේ නම් පමණි. ඉංදියාවේ ඉතා උසස් ගණයේ ටෙලිනාට්‍ය බිහි නොවනවා නොවේ. එවන් ටෙලිනාට්‍ය ගෙන්වා ප‍්‍රදර්ශනය කර පේ‍්‍රක්ෂකයාගේ රසවින්දනය තුළින් ප‍්‍රඥාව කරා ගෙන යාමට රූපවාහිනී නාලිකා උත්සුක නොවන්නේ ඔවුන් අද එකිනෙකා පරයා නැගීමේ හා තම මඩිය තර කර ගැනීමේ ක‍්‍රීඩාවක නිරත වී සිටින නිසාය. මෙම සංස්කෘතික ඛාදනය නවතා දමන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලා සිටියොත් ඔවුන් දෙවරක් නොසිතාම සංස්කෘතිය කන්නටදැයි? පෙරලා අපගෙන් විමසනු ඇත.    


Tuesday, August 14, 2018

ජාතිවාදයෙන් තොර ශී‍්‍ර ලංකාවක් උදෙසා


                                    
                       මිනිස් කලලයක් මව් කුසක පිළිසිඳ ගන්නේ ජාතියක්, කුලයක්, ආගමක් විශේෂ කොට ගෙන නොවේ. එම කලලය මව් කුස තුළ වැඞී දස මසකට පසුව මෙලොව එළිය දැකීමෙන් අනතුරුව එම බිළිදා අයත් වන සමාජ පරිසරය අනුව ඔහුට හෝ ඇයට ජාතියක්, කුලයක්, ආගමක් පටබැඳේ. ඒ අනුව සෑම පුද්ගලයකුගේම ජාතිය, ආගම තීරණය වන්නේ උප්පත්තිය අනුව නොව ඔහු හෝ ඇය ජීවත් වන පරිසරය අනුවයි. සෑම පුද්ගලයකුගේම ශරීරයේ දුවන්නේ එකම රක්ත රුධිරයයි. ඒ අනුව බලන කල සෑම මිනිසෙක්ම අයත් වන්නේ එකම ජාතියකටයි. ශී‍්‍ර ලංකාව බහු වාර්ගික රටකි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මෙරට ප‍්‍රධාන ජාතීන් ලෙස හැඳින්විය හැකි අතර ඒ ඒ ජාතීන්ට අනන්‍ය වූ සංස්කෘතික රාමු තුළ ඔවුන් ජීවත් වෙති. මෙසේ එකිනෙකට වෙන් වූ ජාතීන් තුළ වෙනස් වන සංස්කෘතික ජීවන රටාවන් අතර ඇති වන විවිධ හැලහැප්පීම් මත ප‍්‍රධාන වශයෙන් ජාතීන් දෙකක් අතර ජාතිවාදය නම් වෛරී සිතුවිල්ල හට ගනු ඇත. සරළව පැවසුවහොත් ජාතිවාදය යනු තම ජාතිය, ආගම කෙරෙහි පවතින දැඩි පක්ෂපාතීත්වය මත තවත් ආගමක් හෝ ජාතියක් පහත් කොට සලකනු ලබන නූගත් සිතුවිල්ලක් ඇති වීමයි. තුන්වන ලෝකයේ රටවල මෙම ජාතිවාදී කලබල ඇති වීම සුලබ තත්වයකි. ලෝක ඉතිහාසය දෙස බලන විට දෙවන ලෝක සංග‍්‍රාමය, දකුණු අප‍්‍රිකාවේ සුදු, කළු භේදය තුළින් ප‍්‍රකට වන්නේ ජාතිවාදී අරගල වල සංදිස්ථානයන්ය. එසේම ලංකාවේ ගත් විට අතීතයේ පටන් මේ තාක් කාලය තුළ ජාතිවාදය හේතුවෙන් ඇති වූ අරගල ලෙස 1956 ස්වභාෂා පනත මත ඇති වූ ගැටුම, කළු ජූලිය, එල්. ටී. ටී ත‍්‍රස්තවාදය, අලූත්ගම සිද්ධිය, හලාාල් අර්බුදය, මෑතක දී සිදු වූ තෙල්දෙණියේ සිංහල මුස්ලිම් ගැටුම පෙන්වාදිය හැකිය.

                                    සෑම වසරකම පෙබරවාරි 4 වන දාට රටේ සියලූ ජාතීන් එක්ව ජාතික ගීය ගායනා කරමින්, රටේ සංහිදියාව පිළිබඳ කතා කරමින්, රටේ පෞඩ ඉතිහාසය පිළිබඳ උදම් වනමින් නිදහස් දිනය සැමරුවද සැබෑ වශයෙන් ජාතීන් අතර සමගියක් පවතින්නේ ද යන්න ගැටළුවකි. එසේ පවතින්නේ නම් වසර 30ක් පුරාවට අප කොටි ත‍්‍රස්තවාදයෙන් බැට කෑවේ මක් නිසාද? සිංහල ජනතාව මුස්ලිම් වෙළඳසැල් වලින් බඩු නොගන්නා තත්වයට පත් වූයේ කෙසේද? දැනට මාස කිහිපයකට පෙර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා ආරක්ෂාව සලසන්නට තරම් සිංහල මුස්ලිම් අර්බුදය උග‍්‍ර වූයේ කෙසේද? කිහිපදෙනෙකු අතින් සිදු වූ වරදකට මුළු මහත් ජාතියකින්ම පලි ගැනීමට තරම් අප නිහීන පුරවැසියන් පිරිසක් බවට පත්ව තිබේ. එම පලිගැනීම් මත ඇති වූ ගැටුම් තුළින් ජීවිත, දේපළ හානි සිදු වී දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයන් බිඳ වැටෙමින් රටේ සංවර්ධනයට ඇති වූ බලපෑම මෙපමණයි කියා ගණනය කල නොහැක. මෙම සෑම ගැටුමක් පිටුපසම දේශීය මෙන්ම විදේශීය අදිසි හස්තයන් ක‍්‍රියාත්මක වූ අතර අප දෙපැත්තකට බෙදී මෝඩ තකතීරුවන් සේ හැඟීම් වලට වහල් වී කුලල් කා ගත්තා මිස මදක් හෝ සිතා බැලූවේ නැත. වරද පවතින්නේ අප තුළමය. යුද්ධය හටගන්නේ මිනිස් සිත් තුළය. එය මුලිනුපුටා දැමිය යුත්තේ ද මිනිස් සිත් තුළින්ය යන ප‍්‍රසිද්ධ කියමනට අනුව ගෙන බලන විට මෙහි දී  අප මුලින්ම කල යුත්තේ රටේ ජනතාවගේ මොළ ශෝධනය කිරීමයි. එය අප ආරම්භ කල යුත්තේ නිය පොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කපා දැමීමට ඉඩ නොතබා කුඩා දරුවාාගේ පටන්ය. ජාතිය, ආගම යනු හුදෙක් එකිනෙකා හඳුනාගැනීමට භාවිතා කරන තවත් එක් වචනයක් පමණක් බවත් ඔවුන්ට පෙන්වා දිය යුතුය. වැඩිහිටියන් ලෙස ඔවුන් සමාජගත වීමට පෙර ඔවුන්ට ජාතික ඒකාග‍්‍රතාවය කුමක්ද යන්න වටහා දිය යුතුය. ඒ සඳහා පාසල් අධ්‍යාපනයට පමණක් නොව උසස් අධ්‍යාපනයටද නව ප‍්‍රතිසංස්කරණයන් ඇතුළත් කල යුතුය.  මෙරට රජය ප‍්‍රශ්නයක් ඇති වූ විට එය මැඩපවත්වා පසෙකට වී බලා සිටිනවා මිස නැවත එවන් තත්වයන් ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමට තරම් දූරදර්ශී නැත. එම නිසා හිඟන්නාගේ තුවාලය මෙන් මෙම ගැටුම් කලින් කලට බුර බුරා උඩු දුවයි. එම නිසා එවන් තත්වයන් රටේ තවදුරටත් ඇති වීම වලක්වා ගැනීමට නම් අප රටේ දේශපාලන තන්ත‍්‍රය මීට වඩා ක‍්‍රමවත් තත්වයකට පත් කර තවදුරටත් ජාතිවාදය වැපිරීමට එරෙහි නීති අණ පනත් ශක්තිමත් කල යුතුය. එසේම එම අණ පනත් මගින් කිසිදු ජාතියක් විශේෂීකරණයකට හෝ අපහසුතාවයකට පත් නොවිය යුතුය. සියලූ ජාතීන් පටු භේද දුරලා එකම මවකගේ දරුවන් සේ එක්ව ක‍්‍රියා කල යුතු අතර එය ජාතික ගීයට පමණක් සීමා නොවිය යුතුය. එවිට ජාත්‍යන්තරයෙන් එල්ල වන කුමන්ත‍්‍රණ වලට පවා අපට එකාවන්ව ශක්තිමත්ව නැගී සිටිය හැකි වනු නියතය.  

Monday, August 6, 2018

මතක සුවඳ

සුවඳකුත් ඇති මට
තනි වී විදින්න
ගුලි කර හිත අස්සෙ
කාටත් හොර හොරෙන්

මතකයේ ලියා ඇති
පෙම් පාට හීන පොදි
තවම මගෙ හිත් කොනේ
කොදුරමින් නුඹ කොහේ

මුදු සීත මාරුතේ
තනිකමේ පාඩුවේ
සුසුම් රැලි පාකෙරේ
දැවටෙනුයි නුඹෙ ගතේ

Thursday, August 2, 2018

2015 නයිජීරියානු මහ මැතිවරණයේ ජන මාධ්‍ය භාවිතය



                                      දේශපාලනය හා ජනමාධ්‍ය අතර අතීතයේ පටන්ම අවියෝජනීය සම්බන්ධතාවයක් දක්නට ලැබේ. එය මිනිසුන් ශිෂ්ඨාචාරගත වූ මුල් කාලයේ පටන්ම දියුණු සන්නිවේදන ක‍්‍රම නොමැති වුවත් සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම ඔස්සේ සිදු කෙරුනි. ලෝකයේ කිසිදු රටක දේශපාලන ප‍්‍රවාහයට ජනමාධ්‍ය හවුල් කර නොගන්නේ නැත. රටක පවතින 4 වන ආණ්ඩුව බවට අද වන විට ජනමාධ්‍ය පත්ව ඇති බවට පිලිගැනීමක් ද පවතී. දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ජනමාධ්‍යයේ කැපී පෙනෙන දායතක්වයක් දක්නට ලැබෙන්නේ මැතිවරණ කාල වකවානු තුළදීය. සෑම මැතිවරණ ක‍්‍රියාදාමයක්ම රදා පවතින්නේ ජනමාධ්‍ය මතය. යම් අපේක්ෂකයකුගේ ජයග‍්‍රහණය මෙන්ම පරාජයද අද රැඳී පවතින්නේ ජනමාධ්‍ය මතය. ජනමාධ්‍ය හැරුනු විට මැතිවරණ ක‍්‍රියාදාමය තුළ අද වන විට සමාජ මාධ්‍ය ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි. ඒ හරහා ජනතාවටද මැතිවරණ ක‍්‍රියාවලියට සෘජුව දායක වීමට හැකි වීම මත ජනමාධ්‍ය භාවිතා කරන පිරිසට වඩා අද සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස වැඩි වී තිබේ. ඒ අනුව මෙම පරිච්ජේදය තුලින් 2015 නයිජීරියානු මැතිවරණ සමයේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම කෙබදුද යන්න විමසා බලමු. 

                                        1999 දී නයිජීරියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට පැමිණි  දින පටන් මේ දක්වාම එරට ජන මාධ්‍ය තීරණාත්මක පාර්ශවකරුවකු ලෙස ක‍්‍රියා කලේය. දේශපාලන න්‍යාය පත‍්‍ර සැකසීම හා මහජන සහභාගීත්වය සැපයීම මෙන්ම දේශපාලන සංවාද සඳහා ඉදිරි දර්ශන සැපයීම ද සිදු කරයි. පේට් වැනි විශාරදයින් පවසන්නේ 1999-2011 දක්වා කාලය තුළ නයිජීරියානු ජන මාධ්‍ය මැතිවරණ වල දී වැඩි වශයෙන් ආවරණය කර ඇත්තේ අපේක්ෂකයන්ගේ පසුබිම් හා ඔවුන්ගේ ඡන්ද පොරොන්දු ඉටු කිරීම පමණක් වන බවයි. එම නිසා මාධ්‍ය තම භූමිකාව විවිධ පැතිකඩ ඔස්සේ ක‍්‍රියාකිරීමට වග බලා ගත යුතු බව ඔහු තවදුරටත් පවසයි. නයිජීරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ ජනමාධ්‍ය මැතිවරණ සමයේ තීරණාත්මක භූමිකාවක් ඉටු කලේය. ඒ අතර ප‍්‍රධාන වශයෙන් 
x ජනතාවට මැතිවරණය පිළිබඳ තොරතුරු සැපයීම
x තොරතුරු කිසිදු මුදල් අය කිරීමකින් තොරව විශ්වසනීයව 
        සැපයීම
x ඡන්දදායකයින් අතර සමබර අධ්‍යාපනයක් හා මතයක් ගොඩනැගීම

                    දක්නට ලැබුනි. 

                             2015 මැතිවරණයේ දී නයිජීරියානු ජන මාධ්‍ය ඉතිහාසයේ මෙතෙක් නොවූ අයුරින් විශාල මැතිවරණ ආවරණයක් සිදු කලේය. දේශපාලන දැන්වීම් වලට පමණක් සීමා නොවී ප‍්‍රවෘත්ති විශ්ලේෂණ, ප‍්‍රවෘත්ති විශේෂාංග, ප‍්‍රවෘත්ති කතා, කතුවැකි, අදහස්, ලිපි මෙන්ම අනෙකුත් මාධ්‍ය අනාවැකි 28 වන දිනට පෙර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල්ව සිදු කලේය. එපමණක් නොව ජන මාධ්‍ය ජන හමු සංවිධානය කරමින් ජනතාවගේ අදහස් හා යෝජනා ද එක්රැස් කර ගත්තේය. මීට අමතරව ඔවුන්ගේ වෘත්තීයමය කාර්යභාරයට එහා ගොස් මැතිවරණය සම්බන්ධ ගැටළු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන කටයුතු ද ජනතාව වෙනුවෙන් ඉටු කරමින් පක්ෂ වලට හා අපේක්ෂකයන්ට සත්‍යතාව, සමබරතාවය හා සාධාරණත්වය පිළිබඳ උපදෙස් ද ලබා දුන්නේය. මාධ්‍ය ආයතන තුළම මාධ්‍ය සැසි පැවැත්වීය. 

                                    නිවැරදි මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය වලට අවශ්‍ය මගපෙන්වීම මාධ්‍ය විකාශන කොමිසම මගින් ලබා දෙන ලදී. මීට අමතරව ජාතික අවධාරණ ඒජන්සියෙන්, විකාශන සංවිධානයෙන් හා නිදහස් ජාතික මැතිවරණ කොමිසම මගින් ද මාධ්‍ය සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලැබුනි. මෙම මැතිවරණයට නයිජීරියානු මාධ්‍ය අතරින් ගුවන්විදුලි නාලිකා 200ක්, රූපවාහිනී නාලිකා 150ක්, හා පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය 400ක් දායක විය.

                                  ගුඞ්ලක් ජොනතන්ගේ මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් නයිජීරියානු රූපවාහිනී අධිකාරිය විශේෂ පුවත් 57%ක් විකාශනය කලේය. ෆෙඩරල් රේඩියෝ සංගමය 43%ක ආවරණයක් එම පක්ෂයට ලබා දුන්නේය. ජනාධිපති හා ෆෙඩරල් රජයේ ක‍්‍රියාකාරකම් සඳහා අමතර ගුවන්කාල 27%ක් නයිජීරියානු රූපවාහිනී අධිකාරිය ලබා දුන් අතර ෆෙඩරල් රේඩියෝ සංගමය ගුවන්කාල 35%ක් ලබා දුන්නේය. එහෙත් මුහම්මද් බුහාරිගේ සියලූ ප‍්‍රගතිශීලී කොංග‍්‍රසයට රූපවාහිනී අධිකාරිය 11%ක ආවරණයක් ද ෆෙඩරල් රේඩියෝ සංගමයේ ගුවන් කාල 13%ක් ද පමණක් ලබා දී තිබුනි. මැතිවරණය සම්බන්ධයෙන් පෞද්ගලික නාලිකා වල ක‍්‍රියාකාරීත්වය ගත් විට AIT TV ආයතනය මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති විකාශන 62%ක් ද සියලූ ප‍්‍රගතිශීලී පක්ෂය සඳහා 23%ක් ද ලබා දී තිබේ. එම නාලිකාවේම සාකච්ජාමය වැඩසටහන් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් 55%ක් ද සියලූ ප‍්‍රගතිශීලී පක්ෂය සඳහා 17%ක් ද ලබා දී තිබුනි. මෙම මැතිවරණයේ දී The gurdian, This day සහ Daily trust යන පුවත්පත් තුනම කිසිදු පක්ෂයකට පක්ෂග‍්‍රාහී නොවී සමබර වාර්තාකරණයක් සිදු කලේය. ප‍්‍රාන්ත ගුවන්විදුලි නාලිකා වූ Borno based fm සියලූ ප‍්‍රගතිශීලී පක්ෂය වෙනුවෙන් 99%ක ගුවන් කාලයක් ලබා දී තිබුනු අතර Kaduna based fm  මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් 97% ක ගුවන් කාලයක් වෙන් කර දී තිබුනේය. Lagous rivers fm සියලූ ප‍්‍රගතිශීලී පක්ෂයට පක්ෂග‍්‍රාහීවත් Enuga fm  මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට පක්ෂග‍්‍රාහීවත් ක‍්‍රියා කලේය.

                                                 ඉහතින් දක්වන ලද කරුණු වලට අනුව පෙනී යන්නේ මෙම මැතිවරණය තුළ දී රාජය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ද මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව ක‍්‍රියා කර ඇති බවයි. එහි දී වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙරට  මාධ්‍ය වැඩි ගණනක් එක් එක් අපේෂකයන්ට පකෂග‍්‍රාහීව ක‍්‍රියා කර ඇති බවයි. එය මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනි බව මෙරට මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම සංග‍්‍රහයේ 2 වන වගන්තිය තුළ මෙසේ දක්වා තිබේ.

” 2. නිරවද්‍යතාව හා සාධාරණත්වය
  i. මහජනතාවට දැන ගැනීමට ඇති අයිතිය. සත්‍ය, නිරවද්‍ය, සමබර හා සාධාරණ                   වාර්තාකරණය 
     යනු යහපත් ජනමාධ්‍යයේ මූලික පරමාර්ථය මෙන්ම මහජන විශ්වාසය උපදවන පදනමයි.”
                                     ඉහත වගන්තිය තුළ සමබර හා සාධාරණ වාර්තාකරණය පිළිබඳව මෙන්ම සත්‍ය හා නිවැරදි තොරතුරු වාර්තාකරණය පිළිබඳව ද දක්වා ඇති අතර මෙම මැතිවරනය තුළ දී මෙම ආචාර ධර්මය ද මාධ්‍ය මගින් කඩකල අවස්ථා සුලබ විය. එනම් ඇතැම් මාධ්‍ය ආයතන මගින් අපේක්ෂකයන් පිළිබඳ අසත්‍ය ප‍්‍රකාශ වාර්තා කරමින් ජනතාව නොමග යැවූ ආකාරය දක්නට ලැබුනි. නයිජීරියානු රූපවාහිනී සංගමය හා අප‍්‍රිකානු ස්වාධීන රූපවාහිනිය මෙන්ම තවත් නාලිකා ගණනාවක් මුහම්මද් බුහාරිගේ ප‍්‍රතිරූපයට අවමන් සහගත වන අයුරින් අසත්‍ය ප‍්‍රකාශ පල කලේය. එවන් දැන්වීම් කිහිපයක් පහතින් දැක්වේ. 

”බුහාරි යනු රොද්‍ර ඒකාධිපතියෙකි”
 අහම්මදු අලි (ජොනතන්ගේ ප‍්‍රචාරක සංවිධායක* විසිනි.
”බුහාරිගේ ද්වීතියීක පාසල් සහතිකය ව්‍යාජයකි” 
ෆෙමිෆානි කයිඬේ (ජොනතන්ගේ ප‍්‍රචාරක අධ්‍යක්ෂක* විසිනි.
”බුහාරි මොළය මැරුනු රෝගියෙකි.”

 ජොනතන්ට එවැනි අසත්‍ය ප‍්‍රකාශ දක්නට නොලැබුනේය. එයට හේතු වූයේ ජොනතන්ට හිටපු ජනාධිපති වශයෙන් වැඩි බලයක් හිමිව තිබූ නිසාය. මේ තුළින් අපේෂකයන් අතර පෞද්ගලික පලිගැනීම් ද දක්නට ලැබුනි. මාධ්‍ය ආයතන වලට ද අපේෂකයන්ගේ අඩත්තේට්ටම් වලට යටත්ව ක‍්‍රියා කිරීමට සිදු වීම නිසා මෙවැනි අසත්‍ය ප‍්‍රකාශ පල කිරීමට සිදු විය.

                                 අප‍්‍රිකානු කලාපයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව නයිජීරියාව සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයේ දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. 2012 වන විට මෙරට අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 5ක් වූ අතර එය මුළු ජනගහණයෙන් 33%කි. එහෙත් යකුබ් සහ සානි තරයේම ප‍්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය තවමත් නයිජීරියාවේ මුළු ජනගහණයම ආවරණය කර නොමැති බවයි. මෙරට සමාජ මාධ්‍ය වැඩි ප‍්‍රමාණයක් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ක‍්‍රියාත්මක වන අතර ඉතා සුළු ප‍්‍රමාණයක් දේශීය භාෂා වලින් ක‍්‍රියාත්මක වෙයි. මෙම මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ඇතැම් සමාජ මාධ්‍ය දේශීය භාෂාවන් භාවිතා කලේය. නයිජීරියාවේ මැතිවරණ සඳහා සමාජ මාධ්‍ය භාවිතය පළමුව දක්නට ලැබුනේ 2011 මහ මැතිවරණයේ දීය. ඒ කරුණු 3ක් අරමුණු කරගෙනය. එනම්, 
1 මැතිවරණයට අදාළ තොරතුරු හුවමාරු කිරීම
උදා : ජනතාවට තම ඡන්ද කොට්ටාස වල ප‍්‍රතිඵල, ජායාරූප ලබා ගැනීමට මේ නිසා  හැකි විය.
2 දේශපාලන පක්ෂ, අපේක්ෂකයින් හා සංවිධාන වල ප‍්‍රචාරණ කටයුතු සහ දැනුවත් කිරීම් සඳහා.
උදා : ස්වාධීන මැතිවරණ කොමිසම මැතිවරණ සන්නිවේදන කටයුතු සඳහා facebook, youtube, twitter භාවිතා කරමින් ජනතාව දැනුවත් කලේය.
3 මැතිවරණ නිරීක්ෂණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.

                                     මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ වීමත් සමඟ ප‍්‍රධාන ප‍්‍රවාහයේ පවතින ප‍්‍රවෘත්ති නාලිකා තම වෙබ් අඩවි හරහා ද ප‍්‍රචාරණ කටයුතු දියත් කලේය. මෙම මැතිවරණයේ දී අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිතා කලේය. ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා සහ ඔවුන්ගේ පක්ෂ දෙකේම ක‍්‍රියාකාරීන් Twitter, facebook ගිණුම් පවත්වාගෙන ගියේය. මෙම ගිණුම් හරහා ඔවුන් සජීවී සාකච්ජා, නගර ශාලා රැස්වීම් වල වීඩියෝ දර්ශන මෙන්ම ලිපි ද පල කලේය. රටේ ජනතාව අතුරින් තරුණ ප‍්‍රජාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන නිසා සමාජ මාධ්‍ය මගින් තරුණ පිරිස් වල දේශපාලන මතය හැඩගැස් වූ අතරම ඔවුන්ගේ දේශපාලන දැනුවත්භාවය ද වර්ධනය කලේය. එසේම අපේකෂකයින්ට ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වීමට මේ නිසා හැකියාව ලැබුනි.

                                        මෙම මැතිවරණයේ දී Hashtugs නම් ලින්ක් වර්ග 40 - 50ත් අතර ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වී තිබෙනු දක්නට ලැබුනි. දේශපාලන විවාද සහ නීතිමය කරුණු පිළිබඳ සාකච්ජා මේවා තුළ දක්නට ලැබුනි. Hashtagin නමින් දේශපාලන සම්බන්ධතා සහ අපේක්ෂකයන්ට සහය ලබා දෙන ජාලයක් ද දක්නට ලැබුනි.Lagous based communication ජාලය මගින් මුහම්මද් බුහාරිගේ තරුණයන් වෙනුවෙන් සිදු කල ඩිජිටල් ප‍්‍රචාරණ ව්‍යාප්ත කලේය. ගුඞ්ලක් ජොනතන්ගේ ප‍්‍රචාරණ Social media week lagous ජාලය මගින් සිදු කෙරුනි. ප‍්‍රධාන පක්ෂ දෙකම තරුණ ප‍්‍රජාවගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දීමට Google hang out භාවිතා කලේය. සියලූ ප‍්‍රගතිශීලී කොංග‍්‍රසය මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට තම ආධාරකරුවන් හරහා සමාජ මාධ්‍ය භාවිතා කලේය. 

                                    මෙම මැතිවරණයේ සක‍්‍රීයව පැවති සමාජ මාධ්‍ය අතුරින් වැඩි දායකත්වයක් දක්වන ලද්දේ Twitter. 2015 මාර්තු 18 සිට අපේ‍්‍රල් 22 දක්වා කාලය තුළ පර්යේෂකයින් විසින්  මිලියන 1.38 ක Twitter භාවිතා කරන්නන්ගෙන් මෙම මැතිවරණය සම්බන්ධ ලිපි මිලියන 13.6ක් එක්රැස් කර ගෙන තිබේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් හා වෙනත් භාෂා කිහිපයකින් මේවා ලිය වී තිබුනි. Twitter ක‍්‍රියාකාරකම් ජනගහණය හා සසදා බැලූ විට පෙනී යන්නේ ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. දිවයිනේ නිරිත දිග ලාගෝස් ප‍්‍රාන්තයේ Twitter වැඩි වශයෙන් භාවිතා කර ඇති අතර නසරාවා හා කඩුනා ප‍්‍රාන්ත වලද යම් වැඩි වීමක් දක්නට ලැබුනි. මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වන දින රට පුරා විදුලිය බිද වැටී තිබුනු නිසා රූපවාහිනිය හා ගුවන්විදුලිය හරහා ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාද වුවද Twitter භාවිතා කරන පිරිස් ප‍්‍රමාදයකින් තොරව ඒ හරහා ප‍්‍රතිඵල දැන ගත්තේය. 

                                         Twitter තරමටම මෙම මැතිවරණයේ ජනප‍්‍රිය වූ අනෙක් සමාජ මාධ්‍ය වන්නේ Facebook ය. අපේක්ෂකයින් තම Fan pages හරහා තම ප‍්‍රචාරණ කටයුතු සිදු කලේය. ඒ කෙරෙහි ජනතාව කොතරම් ආකර්ශනය වූයේ ද යන්න ඔවුන් කර ඇති Likes, Comments,Shares තුළින් වටහා ගත හැකිය. මෙම මැතිවරණ කාලය තුළ රටේ Facebook භාවිතා කල පිරිස 216000ට අධික විය. මෙම පිරිසගේ පිටු වල මැතිවරණය සම්බන්ධ දහස් 383000ක් පමණ දක්නට ලැබුනි. ගුඞ්ලක් ජොනතන්ගේ Pan page එක වඩාත් සක‍්‍රීය මෙන්ම ආකර්ශනීය එකක් විය.   
    
                                 Youtube හරහා ද පුළුල් ප‍්‍රචාරණයක් මෙම මැතිවරණය තුළ දක්නට ලැබුනි. අපේකෂකයන්ගේ දැන්වීම්, ප‍්‍රවෘත්ති, ජනතාව මැතිවරණය පිළිබඳ දක්වන අදහස්, මැතිවරණ සාකච්ජා, පෙළපාලි, රැස්වීම්, මැතිවරණයට වෙනත් රාජ්‍ය වල නායකයන් එක් කල සුභ පැතුම් සහිත වීඩියෝ දර්ශන මෙන්ම මැතිවරණය සම්බන්ධව සැකසූ හාස්‍යමය වීඩියෝ දර්ශන ද මේ තුළ දක්නට ලැබුනි. විශේෂයෙන් BBC නාලිකාව ජනතාව මැතිවරණය පිළිබඳව දක්වන අදහස් වැඩි වශයෙන් Youtube වෙත එක් කර තිබුනි. 

                              බුහාරිගේ ජයග‍්‍රහණයෙන් පසු ජනතාවට තම ප‍්‍රශ්න පිළිබඳව ඔහු සමඟ කතා කිරීමට Hashtaug ගිණුමක් ඔහු විසින් විවෘත කලේය. මෙම මැතිවරණය තුළින් අනාගත මැතිවරණ සඳහා සමාජ මාධ්‍ය හා ජනතාව අතර සබධතාවක් ගොඩනැගීමට අවශ්‍ය මූලික අඩිතාලම සැකසුවේය. එසේම රටේ ප‍්‍රධාන ජන මාධ්‍ය වලට වඩා වැඩි දායකත්වයක් මෙම මැතිවරණය සඳහා සමාජ මාධ්‍ය දැක්වීය. ජනතාව සාම්ප‍්‍රදායික ජන මාධ්‍ය මගින් තොරතුරු ලබා ගන්නවාට වඩා සමාජ මාධ්‍ය වටා එක් වූ බව පැහැදිළිව දක්නට ලැබුනි. එසේම මෙම කාල වකවානුව තුළ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු හුවමාරුව ද දක්නට ලැබුනු අතර ඒ පිළිබඳ පැමිණිලි 796ක් වාර්තා වී තිබුනි. මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයට අදාල Twitter වාර්තා 350000ක් වාර්තා වී තිබුනි.  
                                     

When i saw you first

When I saw you first My heart beat was suddenly stopped When I saw your laugh I forgot whole world around me When I saw yo...