සුන්දර රාති‍්‍රයක් මෙතරම්
කවදා උදාවේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
සුන්දර රාති‍්‍රයක් මෙතරම්......
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සඳ වතුරෙන් නහවා
රාති‍්‍රය මෙලෙසම පවතීවා
සුන්දර රාති‍්‍රයක් මෙතරම්..........
අහසේ හිරු නොනැගේවා
අපගේ සිහිනය නොබිදේයා
පුර සඳ අහසින් එලවා
රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා
සුන්දර රාති‍්‍රයක් මෙතරම්..........
සුන්දර රාත‍්‍රියක් මෙතරම්..........
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : චාමර වීරසිංහ
මෙම ගීතය පබැඳුනේ මහාචාර්ය සුනිල් ආරියරත්න නම් සහෘද කලාවේදියා අතිනි. බොහෝ සුභාවිත ගණයේ ගීත වලට මෙතුමා උපත ලබා දී තිබේ. එසේම මෙතුමාට සුභාවිත ගීත කලාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආභාෂය ලැබී තිබෙන්නේ ඔහු නියැලී සිටින අනෙකුත් කලා ක්ෂේත‍්‍ර තුළින් විය හැකිය. ආරියරත්න නම් කවියා පන දෙන්නේ ගීතයට පමණක් නොවේ. ඔහු ආචාර්යවරයෙකි. ගත්කතුවරයෙකි. චිත‍්‍රපටකරුවෙකි. විචාරකයෙකි. ඊටත් එහා ගිය දෙස් විදෙස් දෙඅන්තයෙහිම ප‍්‍රකට මහා විද්වතෙකි. මෙවැනි ක්ෂේත‍්‍ර ගණනාවකින් ලබා ගත් විපුල දැනුම තුළින් මෙතුමා තම කවීත්වය පෝෂණය කර ගෙන තිබේ. මෙතුමා තුළ පවතින ජීවන පරිඥානය මෙතුමාගේ ගීත නිර්මාණ තුළින් විෂද කරයි. මෙම ගීතය මෙතුමා අතින් ලියවෙන්නේ කුමන කාරණයක් පසුබිම් කර ගෙන ද යන්න මා නොදනිමි. එහෙත් මෙම ගීතයට බොහෝ විට ඔහු ලැබූ අත්දැකීමක් හෝ ඔහු ඇසූ දුටු දෙයක් හෝ ඔහුගේ සිතේ මැවුනු මනෝ චිත‍්‍රයක් හෝ හේතුභූත වන්නට ඇත. කෙසේ වෙතත් ගීතයේ පද රචනය පිළිබඳව සූක්ෂමව විමසා බලන විට ලිංගිකත්වය නම් සංකීර්ණ මනෝභාවය කොතරම් නම් සංයමයෙන් මෙතුමා ඉදිරිපත් කර තිබෙන්නේ ද යන්න වටහා ගත හැකිය. මෙතුමා ගීතය දෙස පැත්තකින් සිට බලා නොයි ද ඔහු එහි කථා නායකයා බවට පත් වී එහි රසය තමා විසින්ම විඳිමින් සිටින බවක් දක්නට ලැබේ. මෙහි දී මුලින්ම මෙම ගීතයේ ආකෘතික සන්දර්භය හා භාෂා භාවිතය විමසා බැලිය යුතුය.
මෙම ගීතය ආරම්භයේ සිට අවසානය දක්වාම ගලා යන්නේ සිව් පද ආකෘතියෙනි.
”සුන්දර රාති‍්‍රයක් මෙතරම්
කවදා උදා වේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම් ”
ඉහත පද පේළි හතර ගීතයේ සිව්වරක්ම නැවත යෙදී තිබේ. ඒ තුළින් ගීතයේ ඒකාකාරීබවක් යන්තමින් හෝ දක්නට ලැබුන ද එහි දී ස්ති‍්‍රයකගේ හා පුරුෂයකුගේ ප‍්‍රථම එක් වීමේ චමත්කාරය නැවත නැවත උත්කර්ෂයට නගා තිබේ. මෙම පද පේළි හතරෙහි දැක්වෙන පරිදි රචකයා ආරම්භයේදී ම ලිංගිකත්වය සහෘද මනසට ඔබ්බවන්නට උත්සාහ කර නොමැති බව පසක් වේ. පළමු කොටම එහි දැක්වෙන්නේ ස්ති‍්‍රය හා පුරුෂයා අතර සිදු වන උණුසුම් වැළඳගැනීමකි. ස්ති‍්‍රයගේ සුසුම් පුරුෂයාගේ ගතට දැනෙන්නේ ඒ තුළින්ය. මෙහි දී ස්ති‍්‍රයගේ උණුසුම් සුසුම් තුලින් පුරුෂයා තුළ හට ගන්නා රාගික හැගීම රචකයා දක්වා ඇත්තේ ඔහුගේ හදවතේ කුසුම් පිපීමක් ලෙසිනි. කුසුමක් යනු පවිත‍්‍ර වස්තුවකි. ඔවුන් දෙදෙනාගේ ප‍්‍රථම එක්වීම මෙය විය යුතු බව සත්‍ය වශයෙන්ම පැවසිය හැක්කේ ද මෙයට කුසුම් ආදේශ කර තිබීම තුළින්ය. පුරුෂයාගේ හදවතට කුළුඳුලේම ලිංගික ආශාවක් ඇති වූයේ මැය කෙරෙහිම පමණක් බව ඒ තුළින් සපත කරයි. මක් නිසාද යත්, මෙම පුරුෂයා මීට පෙර වෙනත් ස්ති‍්‍රයක් සමඟ ලිංගිකව එක් වී තිබුනේ නම් ඔහුගේ හදවතට මෙම එක් වීම කුසුම් පිපීමක් හා සමානව නොදැනෙනු ඇත. එසේම මෙම ස්ති‍්‍රය ද කන්‍යාවක්ම බව මනාව පැහැදිළි වන්නේ ඇය ගැහැණියක් නම් පුරුෂයාට මෙම එක් වන රාති‍්‍රය මෙතරම් සුන්දර නොවනු ඇත. ඇය ඔහුගේ අතින් ගැහැණියක් බවට පත් වීමේ චමත්කාරය ඔහුට අද දැනෙන නිසාත් අදින් පසු ඇගෙන් ලැබෙන පහස අද දින තරම් නැවුම් නොවන බවත් ඔහු දන්නා නිසාත් මෙවැනි දිනක් කිසිදා යලි උදා නොවන බවද ඔහු පසක් කර ගෙන තිබේ.
දෙවන පද ඛණ්ඩය දෙස බලන විට පෙනී යන්නේ උණුසුම් වැළදගැනීමකින් අනතුරුව ඔවුනොවුන් අතර සිප ගැනීමක් සිදු වන බවයි. එය ඔවුන් දෙදෙනා අතර සිදු වන්නේ එක් ක්ෂණයකින් ඔවුන්ටත් නොදැනීමය. එය ගී පද රචකයා අමු අමුවේ රසිකයා වෙත මුදා හරින්නේ නැත. ඔහු එය දක්වන්නේ ”රහසේ තුඩ තුඩ ගාවා ” ලෙස ඉතාමත් සංයමයෙනි. ජනපි‍්‍රය ගණයේ ගී පද රචනයක් තුළ නම් මේ අවස්ථාව දැක්වෙන්නේ ‘ තොල් පෙති සිඹින්න ආසයි ’ ලෙස හෝ ‘ තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ’ ලෙස හෝ විය හැක. ඒ අනුව ආරියරත්න නම් අසහාය ගී පද රචකයා මෙම ප‍්‍රථම චුම්බනය සහෘද මනස කිසිදු අයුරකින් තිගැස්මකට හෝ ලැජ්ජාවකට හෝ පත් නොකර එය දක්වා ඇති ආකාරය ප‍්‍රශංසනීයයි. එහි කිසිදු තැනක තොල් පිළිබඳ සදහනක් වත් නොකර එය ව්‍යංගයෙන් ඉතාම පරිස්සමෙන් දක්වා තිබේ. ඔවුන් දෙදෙනා අතර සිපගැනීමක් සිදු වන අවස්ථාවේ ඒ අසළ වෙනත් මනුෂ්‍ය වාසියකු නොමැති බව සහෘදයාට ප‍්‍රත්‍යක්ෂ කිරීමට රචකයා යොදා ගෙන තිබෙන්නේ ”තනියට වන බඹරුන් ආවා ” යන්නයි. මෙම එක් වීමේ චමත්කාරය විඳින පුරුෂයා එය රාති‍්‍රය පුරාම නොවෙනස්ව පවත්වා ගැනීමට උත්සාහ කරයි. එනිසා රාත‍්‍රිය මෙලෙසම පැවතීම ඔහු අපේක්ෂා කරමින් එය ප‍්‍රාර්ථනා කරන්නේ මෙසේය.
”අප සඳ වතුරෙන් නහවා
රාත‍්‍රිය මෙලෙසම පවතීවා ”
තුන්වන පද පේළිය ආරම්භයේ දීම පුරුෂයා නව දවසක උදාව සිදු නොවේවා කියා අයදියි. ඔහුට අවශ්‍ය වන්නේ රාත‍්‍රිය තවත් දිගු වනු දැකීමයි. ”අහසේ හිරු නොනැගේවා ” යන පදය තුළින් රචකයා එය දක්වා ඇත්තේ නව දවසක උදාව ව්‍යංගාර්ථවත්ව ප‍්‍රතික්ෂේප කරන බවයි. එසේ හිරු විගසින් නැග ආවේ නම් ඔවුන් දිගු කලක් දුටු එක් වීමේ සිහිනය බිඳී යනු ඇත. එය ඔවුන් දෙදෙනාගේ සිහිනයක් යැයි දැක්වීම තුළින් පිළිඹිඹු වන්නේ ඔවුන් බොහෝ කලක සිට මෙම රාත‍්‍රිය උදා වන තුරු බලා සිටි බවයි. ඔවුන්ගේ එක් වීමට බාධාවක් ඇති වුව හොත් ශෝකය නම් ගින්න දලූලා වැඩෙනු ඇත. එය කතුවරයා පද පෙළට නගා තිබෙන්නේ එය තමාගේම අත්දැකීමක් ඉදිරිපත් කරන්නා සේය.
” පුර සඳ අහසින් එලවා
රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා ”
ලෙස එය පද්‍යට නගා ඇති අතර ගීතයේ අවසන් ඉම සනිටුහන් කරන්නේ ද එම ප‍්‍රාර්ථනයෙනි.
මෙම ගීතයෙහි අලංකාරය එහි භාෂාව තුළින් ද මනාව ස්ඵුට වේ. විවිධ භාෂා උපක‍්‍රම යොදා ගැනීම තුළින් ලිංගිකත්වය තවදුරටත් සංයමයෙන් සහෘදයාට දැනෙන නොදැනෙන මට්ටමකින් රචකයා ගීතය ඉදිරිපත් කරයි. මෙහි බහුල වශයෙන් රූපක යොදා තිබීම තුළින් ගීතයට නව අලංකාරයක් එක් කර තිබේ. ‘ සුන්දර රාත‍්‍රියක්, මහදේ කුසුම්, වන බඹරුන්, සඳ වතුරෙන්, පුර සඳ ’ යන මෙම රූපක තුළින් බොහෝ විට ලිංගිකත්වය උද්දීපනය වේ. කුළුදුලේ ලිංගිකව එක් වන දෙදෙනෙකුට එම රාත‍්‍රිය අතිශයින්ම සුන්දරය. එසේම වන බඹරුන් යන රූපකය තුළින් ව්‍යංගාර්ථවත්ව ධ්වනිත කෙරෙන්නේ පුරුෂයා තුළ පවතින රාගික හැගීම් ඇවිස්සුනු පසු ඔහුගේ හැසිරීම සාමාන්‍ය නොවන බව දැක්වීමටයි. පුර සඳ නම් රූපකය තුළ ද තියුණු ව්‍යංගයක් ගැබ් වී පවතී. එනම් පූර්ණ චන්ද්‍රයා පායා එන රාත‍්‍රීන් වල දී මනුෂ්‍යයන්ගේ රාගික හැගීම් උද්දීපනය වන ප‍්‍රමාණය ඉහළ බව දැක්වීමට රචකයා පුර සඳ උපයෝගී කර ගෙන තිබේ. සඳ වතුර නම් රූපකය යොදා ගැනීම තුළින් ඔවුන්ට මඳ ආලෝකයක් පමණක් අවැසි බව දක්වා තිබේ. මොවුන් දෙදෙනාගේ එක් වීමට බාධා නොවේවා යන්න ප‍්‍රාර්ථනාවක ස්වරූපයෙන් කවියා ගීතයේ තැන් කිහිපයක දීම දක්වා තිබෙන්නේ මෙසේය.
”රාත‍්‍රිය මෙලෙසම පවතීවා ”
”අහසේ හිරු නොනැගේවා ”
”රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා ”
මෙම ගීතය පුරාවටම එළිසමය ආරක්ෂා වී ඇති ආකරය දක්නට ලැබෙන්නේ පහත දැක්වෙන අයුරිනි.
”සුන්දර රාත‍්‍රියක් මෙතරම්
කවදා උදා වේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සඳ වතුරෙන් නහවා
රාත‍්‍රිය මෙලෙසම පවතීවා ”
එසේම මෙම ගීතය තුළ වරින් වර අනුප‍්‍රාස රසය ජනනය වන අවස්ථා ද දක්නට ලැබේ. ඒ තුළින් රචකයා ගීතයේ ශබ්ද රසය ඉස්මතු කිරීමට උත්සාහ කර ඇති අතර ඉන් ගීතයේ අර්ථ රසයට කිසිදු බාධවක් වී නොමැති බව පෙනේ.
”කවදා උදා වේද නොදනිම් ”
”රහසේ තුඩ තුඩ ගාවා ”
මෙම ගීතය අතිශයෝක්තියෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් දැක්වෙන පරිදි ස්වභාවෝක්තිය ගරු කරමින් රචනා වී තිබේ. ඇත්ත ඇති සැටියෙන් දැක්වීමේ දී කිසිදු විටෙක රචකයා ලිංගිකත්වය නම් මනෝභාවය අමු අමුවේ ඉදිරිපත් කර නොමැත. ඉතාමත් ප‍්‍රවේශම් සහගතව ස්ත‍්‍රියක් හා පුරුෂයකු අතර සිදු වන ප‍්‍රථම එක්වීමේ නැවුම් බව නොනසා සරළ වචන කිහිපයක් යොදා ගනිමින් ගීතයට ජීවය ලබා දී ඇති බව පෙනේ. මෙහි කිසිදු විටෙක සහෘදයාට වටහා ගත නොහැකි වියත් වචන භාවිතා කර නැත. ගීතයේ ගැඹුරු අර්ථයක් යටි පෙළින් නිරූපණය වුවද එහි මතුපිටින් දක්නට ලැබෙන සරළ, සුගම බව ඔප්නැංවීමට රචකයා පරිසර වර්ණනා සියුම් ලෙස උපයෝගී කර ගෙන තිබේ. ඒ අතර රාත‍්‍රිය, කුසුම්, වන බඹරුන්, සඳ, අහස යොදා ගෙන තිබීම තුළින් මෙම අවස්ථාවට මනා ඖචිත්‍යභාවයක් ගොඩ නගා තිබේ. මෙම ගීතයේ ඇති වචන කොතරම් සරළ වුව ද ඒ තුළින් චිත්ත රූප මැවීමේ මනා හැකියාවක් ද දක්නට ලැබේ.
ගීතයක් කෙසේ කවුරුන් විසින් නිර්මාණය කලත් එය රසිකයා වෙත ගෙන යාමට පූර්වයෙන් එයට සංගීතයක් මුසු කල යුතුමය. එසේ නොවුනහොත් කිසිදු විටෙක ගීතයකට ජීව ගුණයක් ලැබෙන්නේ නැත. මිනිසාට ජීවත් වීමට ජලය මූලික සාධකයක් වන්නා සේම ගීතයක් චිරාත් කාලයක් ජීවත් කරවීමට නම් එයට සංගීතය නම් ඔසුව මුසු කල යුතුමය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතයට රෝහණ වීරසිංහ නම් සංගීතවේදියා විසින් රිද්ම, තාල, රාග, මුසු කොට නව ජීවයක් ලබා දී තිබේ. ගීතය වරක් ඇසූ පමණින් ඕනෑම අයෙකුට වැටහෙන්නේ මෙයට යොදා ගෙන ඇත්තේ සරළ සංගීතයක් බවයි. එහෙත් එය නැවත නැවත ශ‍්‍රවණය කර බැලූවහොත් එම සරළ බවෙහිම ගැබ් වී ඇති ගැඹුරු සංවේදනයන් හසු කර ගත හැකිය. ගීතයට යොදා ඇති සංගීතය කිසිදු විටෙක ගායනය පරයා ඉහළට නැගෙන්නේ නැති අතර ගායනය හා බද්ධ වී පවතියි. එසේම මෙම සංගීතයෙහි රසිකයා තුළ හැඟීම් දනවන සියුම් උත්කර්ෂයක් ගැබ් වී පවතී. කණට අමිහිරි කඨෝර බවක් මෙහි නාද රටා තුළ දක්නට නොලැබේ. ගිටාරය, කීබෝඩය, ඩ‍්‍රම්ස්, ඔක්ටපෑඞ් වැනි නිතර දෙවේලේ භාවිතා වන සරළ වාද්‍ය භාණ්ඩ කිහිපයක් යොදා ගනිමින් ඉතා සියුම් වූ සංගීත සංයෝජනයකින් ගීතය ප‍්‍රාණවත් කර තිබේ. විශේෂයෙන් කීබෝඩය වැඩි වශයෙන් භාවිතා කිරීම තුළින් නව සංගීත රටා මවා ගීතයේ අලංකාරය ජනනය කිරීමට සංගීතඥයා උත්සුක වී තිබේ. ගීතයේ ඇතැම් තැන් වල දී එකම නාද රටාවකින් පද අවසන් වීම මෙහි ඇති විශේෂත්වයකි.
”මහදේ කුසුම් පිපේ මනරම් ”
”රාත‍්‍රිය මෙලෙසම පවතීවා ”
”රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා ”
යන පද ත‍්‍රිත්වයේම එසේ අවසන් ඉම එකම නාද රටාවක් සනිටුහන් කරයි. ඒ තුළින් ගීතයේ පද එකකට එකක් මනාව බැඳී පවතින බව ප‍්‍රකට කරයි. ”සුන්දර රාත‍්‍රියක් මෙතරම් ” යන පදය ගැයෙන සෑම විටම පසුබිමෙන් සියුම් මිණි කිංකිණි නාදයක් එක් ක්ෂණයකින් ඇසී නොඇසී යන තරමට සංයෝග කර තිබීම තුළින් රාත‍්‍රියේ පවතින ශෘංගාරත්වය මනාව ඔප්නැංවී තිබේ. එසේම ඩ‍්‍රම්ස් වාදනය ගීතයේ ආරම්භයේ පටන් අවසානය දක්වාම නොනැවතී පසුබිමෙන් ඇසෙන අතර ඒ තුළින් ගායකයාගේ හඬ යටපත් නොවන අතර අවස්ථා කිහිපයක දී පමණක් එහි හඬ තීව‍්‍රර වේ. රාත‍්‍රියේ පවතින අති ශාන්ත බව සංගීතය තුළින් කුළුගන්වමින් සහෘදයාගේ චිත්ත සන්තානය නිසංසල මනෝ භාවයකට පමුණුවාලීමට මෙහි සංගීතය සමත් වී තිබේ. රෝහණ වීරසිංහ නම් අසහාය සංගීතවේදියා මෙම ගීතයට සංයෝජනය කර ඇති සංගීත රටා තුළින් රසික සිත් නොදැනුවත්වම සුන්දර රාත‍්‍රියක් කරා ගෙන ගොස් හමාරය. දෙදෙනෙක් එක් වන ප‍්‍රථම රාත‍්‍රියේ පවතින ශෘංගාර රසය ඔහු ඒ තරමටම සියුම්ව සංගීතය තුළින් සපත කර තිබේ.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා සංගීතවේදී රෝහණ වීරසිංහයන් වැනි සංගීත ක්ෂේත‍්‍රයේ සිටින දැවැන්තයන් කිසිදු විටෙක තම නිර්මාණ සඳහා ආවාට ගියාට කලාකරුවන් දායක කර ගන්නේ නැත. ආරියරත්නයන් ගීත පබඳින්නේ ද එම ගීත වලට වීරසිංහයන් සංගීතය මුසු කරන්නේ ද රටේ සිටින වියත් ගායක ගායිකාවන් අල්පයක් සඳහා පමණි. සංගීත කණ්ඩායමකින් ක්ෂේත‍්‍රයට පැමිණි චාමර වීරසිංහ වැනි නවරැුල්ලේ ගායකයකුට මෙම ගීතයට හඬ මුසු කිරීමට ලැබීම ද ඔහු ලද භාග්‍යයකි. කෙසේ වෙතත් සංගීත ප‍්‍රසංග වල දඩි බිඩි සංගීතයට ගීත ගයන චාමර වීරසිංහයන්ගේ හඬෙහි පවතින සියුම් අලංකාරයක් හඳුනා ගන්නා ආරියරත්නයන් හා වීරසිංහයන් මෙම ගීතය තුළින් චාමර වීරසිංහගේ පවතින ශෘංගාරවත් හඬ එළිපෙහෙළි කර දී තිබේ. නවරැුල්ලේ ගීත ගායනා කල ද හතු පිපෙන්නාක් මෙන් දවසෙන් දෙකෙන් බිහි වන ගායක රැුල්ලේ නොසිටිය යුතු හඬක් ඔහුට තිබේ. මෙම ගීතය ඔහුගේ ගායන ශෛලියට අනුකූල නොවුන ද ගීතයේ අලංකාරය නොනසා ගායනා කරමින් ඔහු මෙයට උපරිම සාධාරණත්වයක් ඉෂ්ඨ කර තිබෙන බව කිව යුතුමය. මෙම ගීතයේ බොහෝ තැන් වල ඔහුගේ හඬෙහි ශාන්ත බවක් දිස් වන අතරම ස්ථාන කිහිපයක දී ඉතා ප‍්‍රවේශම්කාරීව ඔහු තම ගැඹුරු හඬ අවධි කරයි. ඔහුගේ හඬෙහි ගැබ් වී ඇති ශෘංගාරය තුළින් ගීතයේ පවතින වක්‍රෝක්තිය විටින් විට මතු වීම නිසා ගීතය රසවිඳින්නාගේ ශෘංගාරාත්මක භාවයන් අවධි කීරීමට හැකි වී තිබේ. එවිට සහෘදයාට මෙය ස්ව අත්දැකීමක් ලෙස දැනෙනු නොඅනුමානය. පසුබිම් සංගීතය කිසිදු විටෙක ඔහුගේ ගායනයට බාධාවක් නොවන අතර ගායනය හා සංගීතය එකට බද්ධ වී ගලා යන නිසා එය වෙන් වෙන්ව හඳුනාගත නොහැකි තත්වයකට සහෘද මනස පත් වේ. කෙසේ වෙතත් මෙහි දී කිව යුතුම කරුණක් වන්නේ ගායකයාගෙන් ගීතයට ලැබුනු පිටුබලයට වඩා ගීතය තුළින් ගායකයාට ලැබුනු වටිනාකම ඉතා ඉහළය.
ලිංගිකත්වය නම් මානුෂීය සාධකයට අද කලාව තුළින් කිසිදු හිරිකිතයකින් තොරව අමු අමුවේ මිලක් නියම වන යුගයක අප ජීවත්ව සිටින අතර මෙවැනි ප‍්‍රශස්ත ගණයේ ගීත බිහි වන ප‍්‍රමාණය ඉතාමත් දුලභය. මෙම ගීතය එසේ වාණිජ පරමාර්ථ මත පිහිටා බිහි වන ගීත හා සම සමව තැබීමට කිසි සේත්ම නොහැක. මන්ද යත් මෙහි පවතින සුභාවිත ප‍්‍රාතිහාර්ය ඔවුන්ට අදටත් වටහා ගත නොහැක. ලිංගිකත්වය නම් මනෝභාවය සියුම්ව ස්පර්ශ කරන ලද මෙම ගීතය තුළින් පෙරදිග සංස්කෘතිය තුළ ලිංගිකත්වයට පවතින රහස්‍යභාවය තවදුරටත් සුරක්ෂිත කර දී තිබේ. මෙම ගීතයේ පවතින අතිශය වූ සුභාවිතබව නිසාම මෙහි ලිංගිකත්වයක් පවතී ද යන්න බොහෝ දෙනෙකුට එකවරම වටහා ගත නොහැක. මෙහි මතුපිටම ලිංගිකත්වය ගැබ් වී පැවතුනේ නම් එෆ්.එම් නාළිකා තුළ මෙය උණු උණුවේ ප‍්‍රචාරය වනු නිසැකය. කෙසේ වෙතත් ගීතයක නියම රස දන්නා රසික සිත් සතන් තුළ නම් මෙම ගීතය නොමැකී සදාකල්හිම ජීවත් වනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත, රෝහණ වීරසිංහයන් අතින් සංගීතවත් වුනු, චාමර වීරසිංහයන්ගේ නිසල හඬින් ඔපවත් වුනු මෙම ගීතය ප‍්‍රශස්ත ගණයේ ගීතයක් ලෙස රසික සිත් සතන් මන්දහාසයට පත් කරමින් සංගීත ක්ෂේත‍්‍රයේ වැජඹෙනු ඇත.