පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...........
මෙම පද කිහිපය අප සවනට වැකෙන විට මතකයට නැගෙන සුවිශේෂී චරිතයක් අප කාටත් සිටියි. ඒ වෙනකකු නොව අපගේ මුල් ගුරුවරයාය. ගුරුවරයා වනාහී අපගේ දෙවැනි මවයි. අප මෙලොවට බිහි කල මවගෙන් පසුව අප දෙවනුව සමීප වන්නේ අපගේ ගුරුවරයාටයි. දරුවකු යතාර්ථවාදීව ලෝකය දකින්නේ ගුරුවරයාගේ දෙනෙතෙනි. ගුරුවරයකුට තරම් දරුවකුගේ හැඟීම්, ආකල්ප, දක්ෂතා හඳුනාගත හැකි අන් කිසිවෙක් නැත. සිටී නම් ඒ මව පමණි. ඒ තරමටම ගුරුවරයා දරුවන් ගැන විමසිලිමත්ය. ගුරුවරයා වූ කලී මනුසත්බවේ ප‍්‍රතිමූර්තියයි. ගුරුවරයා පිදිය යුතු පුද්ගලයකු ලෙස බුදුරජාණන්වහන්සේ පවා දේශනා කර තිබේ. කිසිදු සමාජ දැනුමක් නොමැතිව මව් තුරුලේ සුරතල් වූ දරුවකු පාසල් අධ්‍යාපනයට යොමු කල පසු ඔහු හෝ ඇය සමාජයට ගැළපෙන සේ නිර්මාණය කරන්නේ ගුරුවරයාය. ඒ සඳහා ගුරුවරයාට මනා ඉවසීමක් මෙන්ම ශික්ෂණයක් ද තිබිය යුතුය.එසේ නොමැතිව දරුවන් කිසිදා ආන් බාන් කල නොහැක. ඉවසීමක් හා ශික්ෂණයක් නැති අයෙකුට කිසිදා ගුරුවරයකු විය නොහැක. ලොව ඇති හොඳම ගරු කටයුතු වෘත්තිය ගුරු වෘත්තියයි. එය රැුකියාවකට එහා ගිය පුණ්‍යකර්මයකි. ප‍්‍රඥ්ඥව නම් ආලෝකයෙන් සුවහසක් දරු දැරියන්ගේ නැණ ගුණ වඩවමින් නෙත් පාදන ගුරුවරු දෙවිවරුන්ට සමානය.
සීතල කාමර වලට වී සැප පුටු රත් කරමින් සැප වාහන වල ගමන් කරන මහත්වරුන්ට වඩා අඩු වැටුපකට වැස්සට තෙමෙන ටකරං වහල යටට වී උගුර ලේ රහ වන තෙක් කෑ ගසමින් උගන්වන ගුරුවරයා උතුම්ය. එසේම ඔවුන්ට ගමන් බිමන් යාමට රජයෙන් නිල රථ ලබා දෙන්නේ නැත. ඔවුන්ට ඇත්තේ පොදු ප‍්‍රවාහන සේවාවේ පිහිට පමණි. බොහෝ විට ඔවුන්ට තමන්ගේ කියා හිසට වහලක්වත් නැත. ඇත්තේ කුලී නිවෙස්ය.එවැනි කටුක දිවියක් ගත කලත් ඔවුන් තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරති. තම ගෝලයන්ගේ දක්ෂතාද දුර්වලතා ද එක සේ වටහා ගන්නා ගුරුවරයා ඔවුන්ගේ වැරදි හමුවේ දඬුවම් කරන්නේ මානසික අසහනයකට නොව දරුවන් තුළ පවත්නා දුර්වලතා මඟහරවා සමාජයට වටිනා පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට ඇති පරහිතකාමී හැඟීම නිසාය.ගුරුවරුන්ගේ දඬුවම් හමුවේ කුපිත වන ඇතැම් දරුවන් ඔවුන්ට වෛර කරති.පෙරලා ඔවුන්ගෙන් පලිගැනීමට මාන බලති. අද බොහෝ දුෂ්කර ප‍්‍රදේශ වල පාසල්වල ගුරු හිඟයක් පවතී. එයට ප‍්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ එම පාසල් වලට පත් කර යවන ගුරුවරුන් නැවත පත්වීම් මාරු කර ගෙන නගරයේ පාසල් වෙත ඇදී යාමයි.කෙසේ වෙතත් දුෂ්කර පාසල් වල දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරන ‘දූයිෂෙයින් ’ පරම්පරාවේ ගුරුවරුද නැතුවාම නොවේ.
ගුරු වෘත්තිය සමාජයේ ගරු කටයුතු රැකියාවක් වුවද එහි අභිමානය කෙලසන ගුරු හොරුද අද සමාජයේ සිටීම කණගාටුවට කරුණකි. තමාගෙන්ම ශිල්ප සතර ලබා ගන්නා දරුවන්ට සිත් පිත් නැත්තන් සේ අතවර කරන, අමානුෂික ලෙස දඬුවම් කරන මනෝ ව්‍යාකූල වලින් පෙලෙන ගුරුවරුන් අතලොස්සක් ද අද සමාජයේ වෙසෙති.එසේම අද වන විට ඇතැම් ටියුෂන් ගුරුවරුන් නිසාද ගුරු භූමිකාව හෑල්ලූවට ලක් වී තිබේ. අද ටියුෂන් ගුරුවරු වැඩි පිරිසක් පාසල් තුළ උගන්වන අය නොවන අතර ඔවුන්ට නිවැරදි පුහුණුවක් ලැබී නොමැත.ඔවුන් මෙම ටියුෂන් ක‍්‍රමය මුදල් ගරා ගැනීමේ ව්‍යාපාරයන් බවට පත් කර ගෙන තිබේ.මේ නිසා ටියුෂන් ක‍්‍රමයට ප‍්‍රමිතියක් අවැසිය. ගුරුවරු වශයෙන් සමාජයට ඉටු කරන සේවයට පාසල් තුළ උපහාර උළෙලක් හෝ සංවිධානය වන්නේ අද කලාතුරකිනි. යුෂය උරා බී රොඞ්ඩ ඉවතට විසි කරන්නා සේ විශ‍්‍රාම ගත් පසු ඔවුන් ගැන සොයා බලන්නට කෙනෙක් නැත. පාරේ තොටේ දී ඔවුන් හමු වන විට සිනහවකින් හෝ ඔවුන්ට සංග‍්‍රහ නොකරන මූසිල පරම්පරාවේ ගෝලයන් හැසිරෙන්නේ ළිඳෙන් වතුර බී ගඟට ආවඩන්නා සේය. වැරැුද්ද කාගේද? ගුරුවරුන්ගේමය. ගුරුවරුන් දරුවන්ට පොත පතේ දැනුම ලබා දී ඔවුන්ව විභාග වලට සූදානම් කලා මිස දරුවන්ට ජීවිතය කියා දුන්නේ නැත. පොත පතේ දැනුම මෙන්ම ඔවුන්ට ගුණ යහපත්කම්ද කියා දුන්නා නම් ඔවුන්ගේ ගෝල පරම්පරාව අද ධන බලයට වඩා ගුණ බලයෙන් පොහොසත් වනු ඇත.
Hoda lipiyak
ReplyDeletethnxs
ReplyDeletegreat
ReplyDeletethnx
Deletekeep it up..
ReplyDeletesuperb
ReplyDeletethnx
Delete