Tuesday, August 14, 2018

ජාතිවාදයෙන් තොර ශී‍්‍ර ලංකාවක් උදෙසා


                                    
                       මිනිස් කලලයක් මව් කුසක පිළිසිඳ ගන්නේ ජාතියක්, කුලයක්, ආගමක් විශේෂ කොට ගෙන නොවේ. එම කලලය මව් කුස තුළ වැඞී දස මසකට පසුව මෙලොව එළිය දැකීමෙන් අනතුරුව එම බිළිදා අයත් වන සමාජ පරිසරය අනුව ඔහුට හෝ ඇයට ජාතියක්, කුලයක්, ආගමක් පටබැඳේ. ඒ අනුව සෑම පුද්ගලයකුගේම ජාතිය, ආගම තීරණය වන්නේ උප්පත්තිය අනුව නොව ඔහු හෝ ඇය ජීවත් වන පරිසරය අනුවයි. සෑම පුද්ගලයකුගේම ශරීරයේ දුවන්නේ එකම රක්ත රුධිරයයි. ඒ අනුව බලන කල සෑම මිනිසෙක්ම අයත් වන්නේ එකම ජාතියකටයි. ශී‍්‍ර ලංකාව බහු වාර්ගික රටකි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මෙරට ප‍්‍රධාන ජාතීන් ලෙස හැඳින්විය හැකි අතර ඒ ඒ ජාතීන්ට අනන්‍ය වූ සංස්කෘතික රාමු තුළ ඔවුන් ජීවත් වෙති. මෙසේ එකිනෙකට වෙන් වූ ජාතීන් තුළ වෙනස් වන සංස්කෘතික ජීවන රටාවන් අතර ඇති වන විවිධ හැලහැප්පීම් මත ප‍්‍රධාන වශයෙන් ජාතීන් දෙකක් අතර ජාතිවාදය නම් වෛරී සිතුවිල්ල හට ගනු ඇත. සරළව පැවසුවහොත් ජාතිවාදය යනු තම ජාතිය, ආගම කෙරෙහි පවතින දැඩි පක්ෂපාතීත්වය මත තවත් ආගමක් හෝ ජාතියක් පහත් කොට සලකනු ලබන නූගත් සිතුවිල්ලක් ඇති වීමයි. තුන්වන ලෝකයේ රටවල මෙම ජාතිවාදී කලබල ඇති වීම සුලබ තත්වයකි. ලෝක ඉතිහාසය දෙස බලන විට දෙවන ලෝක සංග‍්‍රාමය, දකුණු අප‍්‍රිකාවේ සුදු, කළු භේදය තුළින් ප‍්‍රකට වන්නේ ජාතිවාදී අරගල වල සංදිස්ථානයන්ය. එසේම ලංකාවේ ගත් විට අතීතයේ පටන් මේ තාක් කාලය තුළ ජාතිවාදය හේතුවෙන් ඇති වූ අරගල ලෙස 1956 ස්වභාෂා පනත මත ඇති වූ ගැටුම, කළු ජූලිය, එල්. ටී. ටී ත‍්‍රස්තවාදය, අලූත්ගම සිද්ධිය, හලාාල් අර්බුදය, මෑතක දී සිදු වූ තෙල්දෙණියේ සිංහල මුස්ලිම් ගැටුම පෙන්වාදිය හැකිය.

                                    සෑම වසරකම පෙබරවාරි 4 වන දාට රටේ සියලූ ජාතීන් එක්ව ජාතික ගීය ගායනා කරමින්, රටේ සංහිදියාව පිළිබඳ කතා කරමින්, රටේ පෞඩ ඉතිහාසය පිළිබඳ උදම් වනමින් නිදහස් දිනය සැමරුවද සැබෑ වශයෙන් ජාතීන් අතර සමගියක් පවතින්නේ ද යන්න ගැටළුවකි. එසේ පවතින්නේ නම් වසර 30ක් පුරාවට අප කොටි ත‍්‍රස්තවාදයෙන් බැට කෑවේ මක් නිසාද? සිංහල ජනතාව මුස්ලිම් වෙළඳසැල් වලින් බඩු නොගන්නා තත්වයට පත් වූයේ කෙසේද? දැනට මාස කිහිපයකට පෙර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා ආරක්ෂාව සලසන්නට තරම් සිංහල මුස්ලිම් අර්බුදය උග‍්‍ර වූයේ කෙසේද? කිහිපදෙනෙකු අතින් සිදු වූ වරදකට මුළු මහත් ජාතියකින්ම පලි ගැනීමට තරම් අප නිහීන පුරවැසියන් පිරිසක් බවට පත්ව තිබේ. එම පලිගැනීම් මත ඇති වූ ගැටුම් තුළින් ජීවිත, දේපළ හානි සිදු වී දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයන් බිඳ වැටෙමින් රටේ සංවර්ධනයට ඇති වූ බලපෑම මෙපමණයි කියා ගණනය කල නොහැක. මෙම සෑම ගැටුමක් පිටුපසම දේශීය මෙන්ම විදේශීය අදිසි හස්තයන් ක‍්‍රියාත්මක වූ අතර අප දෙපැත්තකට බෙදී මෝඩ තකතීරුවන් සේ හැඟීම් වලට වහල් වී කුලල් කා ගත්තා මිස මදක් හෝ සිතා බැලූවේ නැත. වරද පවතින්නේ අප තුළමය. යුද්ධය හටගන්නේ මිනිස් සිත් තුළය. එය මුලිනුපුටා දැමිය යුත්තේ ද මිනිස් සිත් තුළින්ය යන ප‍්‍රසිද්ධ කියමනට අනුව ගෙන බලන විට මෙහි දී  අප මුලින්ම කල යුත්තේ රටේ ජනතාවගේ මොළ ශෝධනය කිරීමයි. එය අප ආරම්භ කල යුත්තේ නිය පොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කපා දැමීමට ඉඩ නොතබා කුඩා දරුවාාගේ පටන්ය. ජාතිය, ආගම යනු හුදෙක් එකිනෙකා හඳුනාගැනීමට භාවිතා කරන තවත් එක් වචනයක් පමණක් බවත් ඔවුන්ට පෙන්වා දිය යුතුය. වැඩිහිටියන් ලෙස ඔවුන් සමාජගත වීමට පෙර ඔවුන්ට ජාතික ඒකාග‍්‍රතාවය කුමක්ද යන්න වටහා දිය යුතුය. ඒ සඳහා පාසල් අධ්‍යාපනයට පමණක් නොව උසස් අධ්‍යාපනයටද නව ප‍්‍රතිසංස්කරණයන් ඇතුළත් කල යුතුය.  මෙරට රජය ප‍්‍රශ්නයක් ඇති වූ විට එය මැඩපවත්වා පසෙකට වී බලා සිටිනවා මිස නැවත එවන් තත්වයන් ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමට තරම් දූරදර්ශී නැත. එම නිසා හිඟන්නාගේ තුවාලය මෙන් මෙම ගැටුම් කලින් කලට බුර බුරා උඩු දුවයි. එම නිසා එවන් තත්වයන් රටේ තවදුරටත් ඇති වීම වලක්වා ගැනීමට නම් අප රටේ දේශපාලන තන්ත‍්‍රය මීට වඩා ක‍්‍රමවත් තත්වයකට පත් කර තවදුරටත් ජාතිවාදය වැපිරීමට එරෙහි නීති අණ පනත් ශක්තිමත් කල යුතුය. එසේම එම අණ පනත් මගින් කිසිදු ජාතියක් විශේෂීකරණයකට හෝ අපහසුතාවයකට පත් නොවිය යුතුය. සියලූ ජාතීන් පටු භේද දුරලා එකම මවකගේ දරුවන් සේ එක්ව ක‍්‍රියා කල යුතු අතර එය ජාතික ගීයට පමණක් සීමා නොවිය යුතුය. එවිට ජාත්‍යන්තරයෙන් එල්ල වන කුමන්ත‍්‍රණ වලට පවා අපට එකාවන්ව ශක්තිමත්ව නැගී සිටිය හැකි වනු නියතය.  

2 comments:

When i saw you first

When I saw you first My heart beat was suddenly stopped When I saw your laugh I forgot whole world around me When I saw yo...