Saturday, June 30, 2018

සුන්දර රාති‍්‍රයක් මෙතරම් ගීතය පිළිබඳ විමසුමක්

                   සුන්දර රාති‍්‍රයක් මෙතරම්
                      කවදා උදාවේද නොදනිම්
                      ඔබගේ සුසුම් වලින් උණුසුම්
                      මහදේ කුසුම් පිපේ මනරම්
                      සුන්දර රාති‍්‍රයක් මෙතරම්......   
                      රහසේ තුඩ තුඩ ගාවා
                      තනියට වන බඹරුන් ආවා 
                      අප සඳ වතුරෙන් නහවා
                      රාති‍්‍රය මෙලෙසම පවතීවා
                      සුන්දර රාති‍්‍රයක් මෙතරම්..........
                      අහසේ හිරු නොනැගේවා 
                      අපගේ සිහිනය නොබිදේයා
                      පුර සඳ අහසින් එලවා 
                      රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා
                      සුන්දර රාති‍්‍රයක් මෙතරම්.......... 
                      සුන්දර රාත‍්‍රියක් මෙතරම්..........


         පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
         සංගීතය   : රෝහණ වීරසිංහ
         ගායනය   : චාමර වීරසිංහ
            
                                 
                                                       මෙම ගීතය පබැඳුනේ මහාචාර්ය සුනිල් ආරියරත්න නම් සහෘද කලාවේදියා අතිනි. බොහෝ සුභාවිත ගණයේ ගීත වලට මෙතුමා උපත ලබා දී තිබේ. එසේම මෙතුමාට සුභාවිත ගීත කලාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආභාෂය ලැබී තිබෙන්නේ ඔහු නියැලී සිටින අනෙකුත් කලා ක්ෂේත‍්‍ර තුළින් විය හැකිය. ආරියරත්න නම් කවියා පන දෙන්නේ ගීතයට පමණක් නොවේ. ඔහු ආචාර්යවරයෙකි. ගත්කතුවරයෙකි. චිත‍්‍රපටකරුවෙකි. විචාරකයෙකි. ඊටත් එහා ගිය දෙස් විදෙස් දෙඅන්තයෙහිම ප‍්‍රකට මහා විද්වතෙකි. මෙවැනි ක්ෂේත‍්‍ර ගණනාවකින් ලබා ගත් විපුල දැනුම තුළින් මෙතුමා තම කවීත්වය පෝෂණය කර ගෙන තිබේ. මෙතුමා තුළ පවතින ජීවන පරිඥානය මෙතුමාගේ ගීත නිර්මාණ තුළින් විෂද කරයි. මෙම ගීතය මෙතුමා අතින් ලියවෙන්නේ කුමන කාරණයක් පසුබිම් කර ගෙන ද යන්න මා නොදනිමි. එහෙත් මෙම ගීතයට බොහෝ විට ඔහු ලැබූ අත්දැකීමක් හෝ ඔහු ඇසූ දුටු දෙයක් හෝ ඔහුගේ සිතේ මැවුනු මනෝ චිත‍්‍රයක් හෝ හේතුභූත වන්නට ඇත. කෙසේ වෙතත් ගීතයේ පද රචනය පිළිබඳව සූක්ෂමව විමසා බලන විට ලිංගිකත්වය නම් සංකීර්ණ මනෝභාවය කොතරම් නම් සංයමයෙන් මෙතුමා ඉදිරිපත් කර තිබෙන්නේ ද යන්න වටහා ගත හැකිය. මෙතුමා ගීතය දෙස පැත්තකින් සිට බලා නොයි ද ඔහු එහි කථා නායකයා බවට පත් වී එහි රසය තමා විසින්ම විඳිමින් සිටින බවක් දක්නට ලැබේ. මෙහි දී මුලින්ම මෙම ගීතයේ ආකෘතික සන්දර්භය හා භාෂා භාවිතය විමසා බැලිය යුතුය. 
                                  මෙම ගීතය ආරම්භයේ සිට අවසානය දක්වාම ගලා යන්නේ සිව් පද ආකෘතියෙනි. 
”සුන්දර රාති‍්‍රයක් මෙතරම්
 කවදා උදා වේද නොදනිම් 
 ඔබගේ සුසුම් වලින් උණුසුම්
 මහදේ කුසුම් පිපේ මනරම් ”
             
                                                ඉහත පද පේළි හතර ගීතයේ සිව්වරක්ම නැවත යෙදී තිබේ. ඒ තුළින් ගීතයේ ඒකාකාරීබවක් යන්තමින් හෝ දක්නට ලැබුන ද එහි දී ස්ති‍්‍රයකගේ හා පුරුෂයකුගේ ප‍්‍රථම එක් වීමේ චමත්කාරය නැවත නැවත උත්කර්ෂයට නගා තිබේ. මෙම පද පේළි හතරෙහි දැක්වෙන පරිදි රචකයා ආරම්භයේදී ම ලිංගිකත්වය සහෘද මනසට ඔබ්බවන්නට උත්සාහ කර නොමැති බව පසක් වේ. පළමු කොටම එහි දැක්වෙන්නේ ස්ති‍්‍රය හා පුරුෂයා අතර සිදු වන උණුසුම් වැළඳගැනීමකි. ස්ති‍්‍රයගේ සුසුම් පුරුෂයාගේ ගතට දැනෙන්නේ ඒ තුළින්ය. මෙහි දී ස්ති‍්‍රයගේ උණුසුම් සුසුම් තුලින් පුරුෂයා තුළ හට ගන්නා රාගික හැගීම රචකයා දක්වා ඇත්තේ ඔහුගේ හදවතේ කුසුම් පිපීමක් ලෙසිනි. කුසුමක් යනු පවිත‍්‍ර වස්තුවකි. ඔවුන් දෙදෙනාගේ ප‍්‍රථම එක්වීම මෙය විය යුතු බව සත්‍ය වශයෙන්ම පැවසිය හැක්කේ ද මෙයට කුසුම් ආදේශ කර තිබීම තුළින්ය. පුරුෂයාගේ හදවතට කුළුඳුලේම ලිංගික ආශාවක් ඇති වූයේ මැය කෙරෙහිම පමණක් බව ඒ තුළින් සපත කරයි. මක් නිසාද යත්, මෙම පුරුෂයා මීට පෙර වෙනත් ස්ති‍්‍රයක් සමඟ ලිංගිකව එක් වී තිබුනේ නම් ඔහුගේ හදවතට මෙම එක් වීම කුසුම් පිපීමක් හා සමානව නොදැනෙනු ඇත. එසේම මෙම ස්ති‍්‍රය ද කන්‍යාවක්ම බව මනාව පැහැදිළි වන්නේ ඇය ගැහැණියක් නම් පුරුෂයාට මෙම එක් වන රාති‍්‍රය මෙතරම් සුන්දර නොවනු ඇත. ඇය ඔහුගේ අතින් ගැහැණියක් බවට පත් වීමේ චමත්කාරය ඔහුට අද දැනෙන නිසාත් අදින් පසු ඇගෙන් ලැබෙන පහස අද දින තරම් නැවුම් නොවන බවත් ඔහු දන්නා නිසාත්  මෙවැනි දිනක් කිසිදා යලි උදා නොවන බවද ඔහු පසක් කර ගෙන තිබේ. 
                                           දෙවන පද ඛණ්ඩය දෙස බලන විට පෙනී යන්නේ උණුසුම් වැළදගැනීමකින් අනතුරුව ඔවුනොවුන් අතර සිප ගැනීමක් සිදු වන බවයි. එය ඔවුන් දෙදෙනා අතර සිදු වන්නේ එක් ක්ෂණයකින් ඔවුන්ටත් නොදැනීමය. එය ගී පද රචකයා අමු අමුවේ රසිකයා වෙත මුදා හරින්නේ නැත. ඔහු එය දක්වන්නේ ”රහසේ තුඩ තුඩ ගාවා ” ලෙස ඉතාමත් සංයමයෙනි. ජනපි‍්‍රය ගණයේ ගී පද රචනයක් තුළ නම් මේ අවස්ථාව දැක්වෙන්නේ ‘ තොල් පෙති සිඹින්න ආසයි ’ ලෙස හෝ ‘ තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ’ ලෙස හෝ විය හැක. ඒ අනුව ආරියරත්න නම් අසහාය ගී පද රචකයා මෙම ප‍්‍රථම චුම්බනය සහෘද මනස කිසිදු අයුරකින් තිගැස්මකට හෝ ලැජ්ජාවකට හෝ පත් නොකර එය දක්වා ඇති ආකාරය ප‍්‍රශංසනීයයි. එහි කිසිදු තැනක තොල් පිළිබඳ සදහනක් වත් නොකර  එය ව්‍යංගයෙන් ඉතාම පරිස්සමෙන් දක්වා තිබේ. ඔවුන් දෙදෙනා අතර සිපගැනීමක් සිදු වන අවස්ථාවේ ඒ අසළ වෙනත් මනුෂ්‍ය වාසියකු නොමැති බව සහෘදයාට ප‍්‍රත්‍යක්ෂ කිරීමට රචකයා යොදා ගෙන තිබෙන්නේ ”තනියට වන බඹරුන් ආවා ” යන්නයි. මෙම එක් වීමේ චමත්කාරය විඳින පුරුෂයා එය රාති‍්‍රය පුරාම නොවෙනස්ව පවත්වා ගැනීමට උත්සාහ කරයි. එනිසා රාත‍්‍රිය මෙලෙසම පැවතීම ඔහු අපේක්ෂා කරමින් එය ප‍්‍රාර්ථනා කරන්නේ මෙසේය. 
                      ”අප සඳ වතුරෙන් නහවා
                       රාත‍්‍රිය මෙලෙසම පවතීවා ” 
                                                   තුන්වන පද පේළිය ආරම්භයේ දීම පුරුෂයා නව දවසක උදාව සිදු නොවේවා කියා අයදියි. ඔහුට අවශ්‍ය වන්නේ රාත‍්‍රිය තවත් දිගු වනු දැකීමයි. ”අහසේ හිරු නොනැගේවා ” යන පදය තුළින් රචකයා එය දක්වා ඇත්තේ නව දවසක උදාව ව්‍යංගාර්ථවත්ව ප‍්‍රතික්ෂේප කරන බවයි. එසේ හිරු විගසින් නැග ආවේ නම් ඔවුන් දිගු කලක් දුටු එක් වීමේ සිහිනය බිඳී යනු ඇත. එය ඔවුන් දෙදෙනාගේ සිහිනයක් යැයි දැක්වීම තුළින් පිළිඹිඹු වන්නේ ඔවුන් බොහෝ කලක සිට මෙම රාත‍්‍රිය උදා වන තුරු බලා සිටි බවයි. ඔවුන්ගේ එක් වීමට බාධාවක් ඇති වුව හොත් ශෝකය නම් ගින්න දලූලා වැඩෙනු ඇත. එය කතුවරයා පද පෙළට නගා තිබෙන්නේ එය තමාගේම අත්දැකීමක් ඉදිරිපත් කරන්නා සේය. 
                       ” පුර සඳ අහසින් එලවා
                         රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා ”
                                                       ලෙස එය පද්‍යට නගා ඇති අතර ගීතයේ අවසන් ඉම සනිටුහන් කරන්නේ ද එම ප‍්‍රාර්ථනයෙනි. 
                                                        මෙම ගීතයෙහි අලංකාරය එහි භාෂාව තුළින් ද මනාව ස්ඵුට වේ. විවිධ භාෂා උපක‍්‍රම යොදා ගැනීම තුළින් ලිංගිකත්වය තවදුරටත් සංයමයෙන් සහෘදයාට දැනෙන නොදැනෙන මට්ටමකින් රචකයා ගීතය ඉදිරිපත් කරයි. මෙහි බහුල වශයෙන් රූපක යොදා තිබීම තුළින් ගීතයට නව අලංකාරයක් එක් කර තිබේ. ‘ සුන්දර රාත‍්‍රියක්, මහදේ කුසුම්, වන බඹරුන්, සඳ වතුරෙන්, පුර සඳ ’ යන මෙම රූපක තුළින් බොහෝ විට ලිංගිකත්වය උද්දීපනය වේ. කුළුදුලේ ලිංගිකව එක් වන දෙදෙනෙකුට එම රාත‍්‍රිය අතිශයින්ම සුන්දරය. එසේම වන බඹරුන් යන රූපකය තුළින් ව්‍යංගාර්ථවත්ව ධ්වනිත කෙරෙන්නේ පුරුෂයා තුළ පවතින රාගික හැගීම් ඇවිස්සුනු පසු ඔහුගේ හැසිරීම සාමාන්‍ය නොවන බව දැක්වීමටයි. පුර සඳ නම් රූපකය තුළ ද තියුණු ව්‍යංගයක් ගැබ් වී පවතී. එනම් පූර්ණ චන්ද්‍රයා පායා එන රාත‍්‍රීන් වල දී මනුෂ්‍යයන්ගේ රාගික හැගීම් උද්දීපනය වන ප‍්‍රමාණය ඉහළ බව දැක්වීමට රචකයා පුර සඳ උපයෝගී කර ගෙන තිබේ. සඳ වතුර නම් රූපකය යොදා ගැනීම තුළින් ඔවුන්ට මඳ ආලෝකයක් පමණක් අවැසි බව දක්වා තිබේ. මොවුන් දෙදෙනාගේ එක් වීමට බාධා නොවේවා යන්න ප‍්‍රාර්ථනාවක ස්වරූපයෙන් කවියා ගීතයේ තැන් කිහිපයක දීම දක්වා තිබෙන්නේ මෙසේය. 
                  ”රාත‍්‍රිය මෙලෙසම පවතීවා ”
                  ”අහසේ හිරු නොනැගේවා ”
                 ”රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා ”
                                                 මෙම ගීතය පුරාවටම එළිසමය ආරක්ෂා වී ඇති ආකරය දක්නට ලැබෙන්නේ පහත දැක්වෙන අයුරිනි.
”සුන්දර රාත‍්‍රියක් මෙතරම්
 කවදා උදා වේද නොදනිම්
 ඔබගේ සුසුම් වලින් උණුසුම්
 මහදේ කුසුම් පිපේ මනරම්
 රහසේ තුඩ තුඩ ගාවා
 තනියට වන බඹරුන් ආවා
 අප සඳ වතුරෙන් නහවා 
 රාත‍්‍රිය මෙලෙසම පවතීවා ”
                                                      එසේම මෙම ගීතය තුළ වරින් වර අනුප‍්‍රාස රසය ජනනය වන අවස්ථා ද දක්නට ලැබේ. ඒ තුළින් රචකයා ගීතයේ ශබ්ද රසය ඉස්මතු කිරීමට උත්සාහ කර ඇති අතර ඉන් ගීතයේ අර්ථ රසයට කිසිදු බාධවක් වී නොමැති බව පෙනේ.
                         ”කවදා උදා වේද නොදනිම් ”
                         ”රහසේ තුඩ තුඩ ගාවා ”
                                                           මෙම ගීතය අතිශයෝක්තියෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් දැක්වෙන පරිදි ස්වභාවෝක්තිය ගරු කරමින් රචනා වී තිබේ. ඇත්ත ඇති සැටියෙන් දැක්වීමේ දී කිසිදු විටෙක රචකයා ලිංගිකත්වය නම් මනෝභාවය අමු අමුවේ ඉදිරිපත් කර නොමැත. ඉතාමත් ප‍්‍රවේශම් සහගතව ස්ත‍්‍රියක් හා පුරුෂයකු අතර සිදු වන ප‍්‍රථම එක්වීමේ නැවුම් බව නොනසා සරළ වචන කිහිපයක් යොදා ගනිමින් ගීතයට ජීවය ලබා දී ඇති බව පෙනේ. මෙහි කිසිදු විටෙක සහෘදයාට වටහා ගත නොහැකි වියත් වචන භාවිතා කර නැත. ගීතයේ ගැඹුරු අර්ථයක් යටි පෙළින් නිරූපණය වුවද එහි මතුපිටින් දක්නට ලැබෙන සරළ, සුගම බව ඔප්නැංවීමට රචකයා පරිසර වර්ණනා සියුම් ලෙස උපයෝගී කර ගෙන තිබේ. ඒ අතර රාත‍්‍රිය, කුසුම්, වන බඹරුන්, සඳ, අහස යොදා ගෙන තිබීම තුළින් මෙම අවස්ථාවට මනා ඖචිත්‍යභාවයක් ගොඩ නගා තිබේ. මෙම ගීතයේ ඇති වචන කොතරම් සරළ වුව ද ඒ තුළින් චිත්ත රූප මැවීමේ මනා හැකියාවක් ද දක්නට ලැබේ.
                                                             ගීතයක් කෙසේ කවුරුන් විසින් නිර්මාණය කලත් එය රසිකයා වෙත ගෙන යාමට පූර්වයෙන් එයට සංගීතයක් මුසු කල යුතුමය. එසේ නොවුනහොත් කිසිදු විටෙක ගීතයකට ජීව ගුණයක් ලැබෙන්නේ නැත. මිනිසාට ජීවත් වීමට ජලය මූලික සාධකයක් වන්නා සේම ගීතයක් චිරාත් කාලයක් ජීවත් කරවීමට නම් එයට සංගීතය නම් ඔසුව මුසු කල යුතුමය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතයට රෝහණ වීරසිංහ නම් සංගීතවේදියා විසින් රිද්ම, තාල, රාග, මුසු කොට නව ජීවයක් ලබා දී තිබේ. ගීතය වරක් ඇසූ පමණින්  ඕනෑම අයෙකුට වැටහෙන්නේ මෙයට යොදා ගෙන ඇත්තේ සරළ සංගීතයක් බවයි. එහෙත් එය නැවත නැවත ශ‍්‍රවණය කර බැලූවහොත් එම සරළ බවෙහිම ගැබ් වී ඇති ගැඹුරු සංවේදනයන් හසු කර ගත හැකිය. ගීතයට යොදා ඇති සංගීතය කිසිදු විටෙක ගායනය පරයා ඉහළට නැගෙන්නේ නැති අතර ගායනය හා බද්ධ වී පවතියි. එසේම මෙම සංගීතයෙහි රසිකයා තුළ හැඟීම් දනවන සියුම් උත්කර්ෂයක් ගැබ් වී පවතී. කණට අමිහිරි කඨෝර බවක් මෙහි නාද රටා තුළ දක්නට නොලැබේ. ගිටාරය, කීබෝඩය, ඩ‍්‍රම්ස්, ඔක්ටපෑඞ් වැනි නිතර දෙවේලේ භාවිතා වන සරළ වාද්‍ය භාණ්ඩ කිහිපයක් යොදා ගනිමින් ඉතා සියුම් වූ සංගීත සංයෝජනයකින් ගීතය ප‍්‍රාණවත් කර තිබේ. විශේෂයෙන් කීබෝඩය වැඩි වශයෙන් භාවිතා කිරීම තුළින් නව සංගීත රටා මවා ගීතයේ අලංකාරය  ජනනය කිරීමට සංගීතඥයා උත්සුක වී තිබේ. ගීතයේ ඇතැම් තැන් වල දී එකම නාද රටාවකින් පද අවසන් වීම මෙහි ඇති විශේෂත්වයකි.
 ”මහදේ කුසුම් පිපේ මනරම් ”
”රාත‍්‍රිය මෙලෙසම පවතීවා ”
”රාත‍්‍රිය දුක් ගිනි නොගෙනේවා ”
                                                   යන පද ත‍්‍රිත්වයේම එසේ අවසන් ඉම එකම නාද රටාවක් සනිටුහන් කරයි. ඒ තුළින් ගීතයේ පද එකකට එකක් මනාව බැඳී පවතින බව ප‍්‍රකට කරයි. ”සුන්දර රාත‍්‍රියක් මෙතරම් ” යන පදය ගැයෙන සෑම විටම පසුබිමෙන් සියුම් මිණි කිංකිණි නාදයක් එක් ක්ෂණයකින් ඇසී නොඇසී යන තරමට සංයෝග කර තිබීම තුළින් රාත‍්‍රියේ පවතින ශෘංගාරත්වය මනාව ඔප්නැංවී තිබේ. එසේම ඩ‍්‍රම්ස් වාදනය ගීතයේ ආරම්භයේ පටන් අවසානය දක්වාම නොනැවතී පසුබිමෙන් ඇසෙන අතර ඒ තුළින් ගායකයාගේ හඬ යටපත් නොවන අතර අවස්ථා කිහිපයක දී පමණක් එහි හඬ තීව‍්‍රර වේ. රාත‍්‍රියේ පවතින අති ශාන්ත බව සංගීතය තුළින් කුළුගන්වමින් සහෘදයාගේ චිත්ත සන්තානය නිසංසල මනෝ භාවයකට පමුණුවාලීමට මෙහි සංගීතය සමත් වී තිබේ. රෝහණ වීරසිංහ නම් අසහාය සංගීතවේදියා මෙම ගීතයට සංයෝජනය කර ඇති සංගීත රටා තුළින් රසික සිත් නොදැනුවත්වම සුන්දර රාත‍්‍රියක් කරා ගෙන ගොස් හමාරය. දෙදෙනෙක් එක් වන ප‍්‍රථම රාත‍්‍රියේ පවතින ශෘංගාර රසය ඔහු ඒ තරමටම සියුම්ව සංගීතය තුළින් සපත කර තිබේ.
                                                               මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා සංගීතවේදී රෝහණ වීරසිංහයන් වැනි සංගීත ක්ෂේත‍්‍රයේ සිටින දැවැන්තයන් කිසිදු විටෙක තම නිර්මාණ සඳහා ආවාට ගියාට කලාකරුවන් දායක කර ගන්නේ නැත. ආරියරත්නයන් ගීත පබඳින්නේ ද එම ගීත වලට වීරසිංහයන් සංගීතය මුසු කරන්නේ ද රටේ සිටින වියත් ගායක ගායිකාවන් අල්පයක් සඳහා පමණි. සංගීත කණ්ඩායමකින් ක්ෂේත‍්‍රයට පැමිණි චාමර වීරසිංහ වැනි නවරැුල්ලේ ගායකයකුට මෙම ගීතයට හඬ මුසු කිරීමට ලැබීම ද ඔහු ලද භාග්‍යයකි. කෙසේ වෙතත් සංගීත ප‍්‍රසංග වල දඩි බිඩි සංගීතයට ගීත ගයන චාමර වීරසිංහයන්ගේ හඬෙහි පවතින සියුම් අලංකාරයක් හඳුනා ගන්නා ආරියරත්නයන් හා වීරසිංහයන් මෙම ගීතය තුළින් චාමර වීරසිංහගේ පවතින ශෘංගාරවත් හඬ එළිපෙහෙළි කර දී තිබේ. නවරැුල්ලේ ගීත ගායනා කල ද හතු පිපෙන්නාක් මෙන් දවසෙන් දෙකෙන් බිහි වන ගායක රැුල්ලේ නොසිටිය යුතු හඬක් ඔහුට තිබේ. මෙම ගීතය ඔහුගේ ගායන ශෛලියට අනුකූල නොවුන ද ගීතයේ අලංකාරය නොනසා ගායනා කරමින් ඔහු මෙයට උපරිම සාධාරණත්වයක් ඉෂ්ඨ කර තිබෙන බව කිව යුතුමය. මෙම ගීතයේ බොහෝ තැන් වල ඔහුගේ හඬෙහි ශාන්ත බවක් දිස් වන අතරම ස්ථාන කිහිපයක දී ඉතා ප‍්‍රවේශම්කාරීව ඔහු තම ගැඹුරු හඬ අවධි කරයි. ඔහුගේ හඬෙහි ගැබ් වී ඇති ශෘංගාරය තුළින් ගීතයේ පවතින වක්‍රෝක්තිය විටින් විට මතු වීම නිසා ගීතය රසවිඳින්නාගේ ශෘංගාරාත්මක භාවයන් අවධි කීරීමට හැකි වී තිබේ. එවිට සහෘදයාට මෙය ස්ව අත්දැකීමක් ලෙස දැනෙනු නොඅනුමානය. පසුබිම් සංගීතය කිසිදු විටෙක ඔහුගේ ගායනයට බාධාවක් නොවන අතර ගායනය හා සංගීතය එකට බද්ධ වී ගලා යන නිසා එය වෙන් වෙන්ව හඳුනාගත නොහැකි තත්වයකට සහෘද මනස පත් වේ.  කෙසේ වෙතත් මෙහි දී කිව යුතුම කරුණක් වන්නේ ගායකයාගෙන් ගීතයට ලැබුනු පිටුබලයට වඩා ගීතය තුළින් ගායකයාට ලැබුනු වටිනාකම ඉතා ඉහළය.
                                                      ලිංගිකත්වය නම් මානුෂීය සාධකයට අද කලාව තුළින්  කිසිදු හිරිකිතයකින් තොරව අමු අමුවේ මිලක් නියම වන යුගයක අප ජීවත්ව සිටින අතර මෙවැනි ප‍්‍රශස්ත ගණයේ ගීත බිහි වන ප‍්‍රමාණය ඉතාමත් දුලභය. මෙම ගීතය එසේ වාණිජ පරමාර්ථ මත පිහිටා බිහි වන ගීත හා සම සමව තැබීමට කිසි සේත්ම නොහැක. මන්ද යත් මෙහි පවතින සුභාවිත ප‍්‍රාතිහාර්ය ඔවුන්ට අදටත් වටහා ගත නොහැක. ලිංගිකත්වය නම් මනෝභාවය සියුම්ව ස්පර්ශ කරන ලද මෙම ගීතය තුළින් පෙරදිග සංස්කෘතිය තුළ ලිංගිකත්වයට පවතින රහස්‍යභාවය තවදුරටත් සුරක්ෂිත කර දී තිබේ. මෙම ගීතයේ පවතින අතිශය වූ සුභාවිතබව නිසාම මෙහි ලිංගිකත්වයක් පවතී ද යන්න බොහෝ දෙනෙකුට එකවරම වටහා ගත නොහැක. මෙහි මතුපිටම ලිංගිකත්වය ගැබ් වී පැවතුනේ නම් එෆ්.එම් නාළිකා තුළ මෙය උණු උණුවේ ප‍්‍රචාරය වනු නිසැකය. කෙසේ වෙතත් ගීතයක නියම රස දන්නා රසික සිත් සතන් තුළ නම් මෙම ගීතය නොමැකී සදාකල්හිම ජීවත් වනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත, රෝහණ වීරසිංහයන් අතින් සංගීතවත් වුනු, චාමර වීරසිංහයන්ගේ නිසල හඬින් ඔපවත් වුනු මෙම ගීතය ප‍්‍රශස්ත ගණයේ ගීතයක් ලෙස රසික සිත් සතන් මන්දහාසයට පත් කරමින් සංගීත ක්ෂේත‍්‍රයේ වැජඹෙනු ඇත.    

Thursday, June 28, 2018

පති කුලයට යන අක්කණ්ඩියට

අත දමා දෙඋර වට
කෑ ගසා හඬවන්ට
එපා අක්කණ්ඩියේ මම                                                      
උඹ නැතිව තනිව මම.........

වැලි කෙළියෙ ඉදන් මට
කෑ ගසා ළඟට ගෙන
දෙපා පොඩි අතින් සිඹ
වාරු කල උඹෙ සුවඳ.........

දිය වෙමින් කඳුළු කැට
පෑරෙනා ලය තුරුල
ඉල්ලමින් උඹෙ සුවඳ
කෑගසයි ගෙදර වට............

කිංකිණියෙ හඬට මට
වැඩිවෙනා හද ගැස්ම
යන්න උඹ ලන්ව ඇත
කොහොම මම ඉවසම්න්ද..........

නොම එනා අතීතෙට
දිව යන්න වරෙන් අද
සමරමුද එහි සුවඳ
ගුලි වෙලා සිහිසුන්ව.........

Friday, June 22, 2018

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...............

                   

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...........

                           
                         මෙම පද කිහිපය අප සවනට වැකෙන විට මතකයට නැගෙන සුවිශේෂී චරිතයක් අප කාටත් සිටියි. ඒ වෙනකකු නොව අපගේ මුල් ගුරුවරයාය. ගුරුවරයා වනාහී අපගේ දෙවැනි මවයි. අප මෙලොවට බිහි කල මවගෙන් පසුව අප දෙවනුව සමීප වන්නේ අපගේ ගුරුවරයාටයි. දරුවකු යතාර්ථවාදීව ලෝකය දකින්නේ ගුරුවරයාගේ දෙනෙතෙනි. ගුරුවරයකුට තරම් දරුවකුගේ හැඟීම්, ආකල්ප, දක්ෂතා හඳුනාගත හැකි අන් කිසිවෙක් නැත. සිටී නම් ඒ මව පමණි. ඒ තරමටම ගුරුවරයා දරුවන් ගැන විමසිලිමත්ය. ගුරුවරයා වූ කලී මනුසත්බවේ ප‍්‍රතිමූර්තියයි.  ගුරුවරයා පිදිය යුතු පුද්ගලයකු ලෙස  බුදුරජාණන්වහන්සේ පවා දේශනා කර තිබේ. කිසිදු සමාජ දැනුමක් නොමැතිව මව් තුරුලේ සුරතල් වූ දරුවකු පාසල් අධ්‍යාපනයට යොමු කල පසු ඔහු හෝ ඇය සමාජයට ගැළපෙන සේ නිර්මාණය කරන්නේ ගුරුවරයාය. ඒ සඳහා ගුරුවරයාට මනා ඉවසීමක් මෙන්ම ශික්ෂණයක් ද තිබිය යුතුය.එසේ නොමැතිව දරුවන් කිසිදා ආන් බාන් කල නොහැක. ඉවසීමක් හා ශික්ෂණයක් නැති අයෙකුට කිසිදා ගුරුවරයකු විය නොහැක. ලොව ඇති හොඳම ගරු කටයුතු වෘත්තිය ගුරු වෘත්තියයි. එය රැුකියාවකට එහා ගිය පුණ්‍යකර්මයකි. ප‍්‍රඥ්ඥව නම් ආලෝකයෙන් සුවහසක් දරු දැරියන්ගේ නැණ ගුණ වඩවමින් නෙත් පාදන ගුරුවරු දෙවිවරුන්ට සමානය. 

                                               සීතල කාමර වලට වී සැප පුටු රත් කරමින් සැප වාහන වල ගමන් කරන මහත්වරුන්ට වඩා අඩු වැටුපකට වැස්සට තෙමෙන ටකරං වහල යටට වී උගුර ලේ රහ වන තෙක් කෑ ගසමින් උගන්වන ගුරුවරයා උතුම්ය. එසේම ඔවුන්ට ගමන් බිමන් යාමට රජයෙන් නිල රථ ලබා දෙන්නේ නැත. ඔවුන්ට ඇත්තේ පොදු ප‍්‍රවාහන සේවාවේ පිහිට පමණි. බොහෝ විට ඔවුන්ට තමන්ගේ කියා හිසට වහලක්වත් නැත. ඇත්තේ කුලී නිවෙස්ය.එවැනි කටුක දිවියක් ගත කලත් ඔවුන් තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරති. තම ගෝලයන්ගේ දක්ෂතාද දුර්වලතා ද එක සේ වටහා ගන්නා ගුරුවරයා ඔවුන්ගේ වැරදි හමුවේ දඬුවම් කරන්නේ මානසික අසහනයකට නොව දරුවන් තුළ පවත්නා දුර්වලතා මඟහරවා සමාජයට වටිනා පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට ඇති පරහිතකාමී හැඟීම නිසාය.ගුරුවරුන්ගේ දඬුවම් හමුවේ කුපිත වන ඇතැම් දරුවන් ඔවුන්ට වෛර කරති.පෙරලා ඔවුන්ගෙන් පලිගැනීමට මාන බලති. අද බොහෝ දුෂ්කර ප‍්‍රදේශ වල පාසල්වල ගුරු හිඟයක් පවතී. එයට ප‍්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ එම පාසල් වලට පත් කර යවන ගුරුවරුන් නැවත පත්වීම් මාරු කර ගෙන නගරයේ පාසල් වෙත ඇදී යාමයි.කෙසේ වෙතත් දුෂ්කර පාසල් වල දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරන ‘දූයිෂෙයින් ’ පරම්පරාවේ ගුරුවරුද නැතුවාම නොවේ.

                                            ගුරු වෘත්තිය සමාජයේ ගරු කටයුතු රැකියාවක් වුවද එහි අභිමානය කෙලසන ගුරු හොරුද අද සමාජයේ සිටීම කණගාටුවට කරුණකි. තමාගෙන්ම ශිල්ප සතර ලබා ගන්නා දරුවන්ට සිත් පිත් නැත්තන් සේ අතවර කරන, අමානුෂික ලෙස දඬුවම් කරන මනෝ ව්‍යාකූල වලින් පෙලෙන ගුරුවරුන් අතලොස්සක් ද අද සමාජයේ වෙසෙති.එසේම අද වන විට ඇතැම් ටියුෂන් ගුරුවරුන් නිසාද ගුරු භූමිකාව හෑල්ලූවට ලක් වී තිබේ. අද ටියුෂන් ගුරුවරු වැඩි පිරිසක් පාසල් තුළ උගන්වන අය නොවන අතර ඔවුන්ට නිවැරදි පුහුණුවක් ලැබී නොමැත.ඔවුන් මෙම ටියුෂන් ක‍්‍රමය මුදල් ගරා ගැනීමේ ව්‍යාපාරයන් බවට පත් කර ගෙන තිබේ.මේ නිසා ටියුෂන් ක‍්‍රමයට ප‍්‍රමිතියක් අවැසිය. ගුරුවරු වශයෙන් සමාජයට ඉටු කරන සේවයට පාසල් තුළ උපහාර උළෙලක් හෝ සංවිධානය වන්නේ අද කලාතුරකිනි. යුෂය උරා බී රොඞ්ඩ ඉවතට විසි කරන්නා සේ විශ‍්‍රාම ගත් පසු ඔවුන් ගැන සොයා බලන්නට කෙනෙක් නැත. පාරේ තොටේ දී ඔවුන් හමු වන විට සිනහවකින් හෝ ඔවුන්ට සංග‍්‍රහ නොකරන මූසිල පරම්පරාවේ ගෝලයන් හැසිරෙන්නේ ළිඳෙන් වතුර බී ගඟට ආවඩන්නා සේය. වැරැුද්ද කාගේද? ගුරුවරුන්ගේමය. ගුරුවරුන් දරුවන්ට පොත පතේ දැනුම ලබා දී ඔවුන්ව විභාග වලට සූදානම් කලා මිස දරුවන්ට ජීවිතය කියා දුන්නේ නැත. පොත පතේ දැනුම මෙන්ම ඔවුන්ට ගුණ යහපත්කම්ද කියා දුන්නා නම් ඔවුන්ගේ ගෝල පරම්පරාව අද ධන බලයට වඩා ගුණ බලයෙන් පොහොසත් වනු ඇත.

Tuesday, June 19, 2018

සෙල්ෆි උන්මාදය

                                                             

                          ගෝලීයකරණයට ලක් වූ තාක්ෂණික ලෝකයක හිණිපෙත්තේ අද අප ජීවත්වෙමින් සිටින්නෙමු. මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇතැයි යන්න අප අවිවාදයෙන් පිළිගන්නෙමු. එහි ප‍්‍රතිඵල වල හිතකර මෙන්ම අහිතකර තත්වයන් ද අප අද අත්විදිමින් සිටින්නෙමු. ගෝලීයකරණය හරහා ව්‍යාප්ත වූ අන්තර්ජාලය ජනප‍්‍රිය සංස්කෘතියක් සමාජයට දායාද කල අතර ඒත් සමඟ පුරවැසි මාධ්‍ය කලාව වර්ධනය විය. ෆේස්බුක්, ටුවිටර්, වයිබර්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග‍්‍රෑම් වැනි පුරවැසි මාධ්‍ය සමාජයේ බොහෝ දුරට ව්‍යාප්ත වූයේ එය ඇඟිලි තුෙඬ් දුරේ සිට නොහොත් ජංගම දුරකථනය හරහා භාවිතා කිරීමේ පහසුකම් වර්ධනය වූ නිසාය. මෙම පුරවැසි මාධ්‍ය හා ගහට පොත්ත මෙන් අවියෝජනීයව බැඳී පවතින සෙල්ෆි ඡයාරූප කලාව අද බාල, මහළු, තරුණ, කා අතරත් ජනප‍්‍රිය මෙවලමකි. සෙල්ෆි යන වචනය දැනට වසර හතර පහකට පෙර ඇසෙන විට එය අපට අමුත්තක් ලෙස දැනුන ද අද එය පෙර පාසල් යන වයසේ දරුවකු පවා තමාගේ ඡුායාරූප තමා විසින්ම ගන්නා ක‍්‍රමයක් බව දන්නා තරමටම සාමාන්‍යකරණය වී තිබේ. 

                                                 සෙල්ෆි කලාව ලෝකයට පැමිණ වැඩි කාලයක් ගත වී නොමැත. අවම වශයෙන් ගෙවී ඇත්තේ වසර පහක් හයක් වැනි කෙටි කාලයක් වුවද එය අද සමාජයේ ජනප‍්‍රිය සංස්කෘතියේ ඉහළම තලයේ පසු වෙයි. මිනිසුන් සෙල්ෆිය කොතරම් දුරට වැලඳගෙන තිබෙන්නේ ද යන්න මිනිත්තු කිහිපයක් සමාජ ජාල මාධ්‍ය තුළ සැරිසැරීමෙන් පසක් කර ගත හැකිය. අද කෑවත් සෙල්ෆිය. කාර්යාලයේ වැඩ කරමින් සිටින විටත් සෙල්ෆිය. බස් රථයේ යන විටත් සෙල්ෆිය. එකී මෙකී නොකී සෑම විටම කට උල් කරමින්, විරිත්තමින් මහත් වෙහෙසක් දරා ගන්නා සෙල්ෆිය සමාජයේ සිටින උන්මත්තකයන් හඳුනාගන්නා මෙවලමක් බවට පත්ව තිබේ. එපමණක් නොව මෙහි පවතින ශෝකාන්තය වන්නේ  අවමංගල්‍යයක දී මළ මිණිය සමඟ පවා සෙල්ෆි ගැනීමට තරම් වත්මන් තාරුණ්‍ය නිර්ලජ්ජිත වීමයි. දැනට අප දැක නැත්තේ වැසිකිළියේ සිට ගන්නා ලද සෙල්ෆියක් පමණි. එයද නුදුරු දිනක දී දකිනු නොඅනුමානය. ඒ තරමටම වත්මන් තාරුණ්‍යට තම ආත්ම ගරුත්වයට වඩා සෙල්ෆිය ලොකුය.

                                                       මිනිසා ස්වභාවයෙන්ම ප‍්‍රදර්ශනාකාමී සත්වයෙකි. තම ආශාව අද ඔවුන්ගේ අතේ ඇති ජංගම දුරකථනයෙන්ම සංතෘප්ත කර ගන්නා ඔවුන් සෑම විටම අනෙකාට වඩා හොඳ සෙල්ෆියක් ගැනීමට බොලඳ උත්සහයක නිරත වෙති. ඒ සඳහා නිරුවත් වීමට පවා මෙම මරි මෝඩ මිනිසුන් දෙවරක් නොසිතති. ඇතැමුන් හොඳම සෙල්ෆියක් ගැනීමට භයානක ස්ථාන වලට පවා ගොස් තම ජීවිතය අකාලයේ අහිමි කර ගත් අවස්ථා ද අද සමාජයේ විරල නොවේ. එයට කදිම නිදසුනක් ලෙස ගිය වසරේ දී දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගැනීමට ගොස් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් දුම්රියට බිලි වූ සිද්ධිය පෙන්වාදිය හැකිය.මෙවැනි අනතුරු හේතුවෙන් ඇතැම් රටවල ඡුායාරූප ගැනීමට තහනම් කලාප පවා නිවේදනය කර තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ අතේ ඇති දුරකථනයෙන් තමන්ගේ ඡුායාරූපයක් තමන්ටම ගත හැකි වීම ඉතාමත් පහසු තත්වයකි. එහෙත් එය අනවශ්‍ය අයුරින් උන්මත්තකයන් ලෙස භාවිතා කිරීම තුළින් මිනිසුන්ගේ තාක්ෂණික ඥාණය කොතරම් දුරට දියුණු වුවද ඔවුන්ගේ ආකල්ප තවමත් පවතින්නේ පහළ අඩියක බැව් වටහා ගත හැකිය. මෙතරම් දියුණු ක‍්‍රම අඥාණයන් ලෙස අවිඥාණිකව භාවිතා කිරීම රිලවුන්ට දැලි පිහි ලැබුනා හා සමාන නොවන්නේද?

                                                         වෛද්‍යවරු පවසන ආකාරයට දිනකට සෙල්ෆි ඡුායාරූප තුනකට වඩා වැඩි ප‍්‍රමාණයක් ගන්නා පුද්ගලයන් මානසික රෝගියකු ලෙස හඳුනාගත හැකිය. අද සමාජය දෙස බලන විට පෙනී යන්නේ මෙම මානසික දුබලතාවයට බොහෝ දුරට ලක්ව සිටින්නේ යමක් කමක් තේරුම් ගත හැකි උගත්, බුද්ධිමත් යැයි අප අපටම කියා ගන්නා පැලැන්තියයි. මක් නිසාද යත්, සෙල්ෆියක් ගැනීමට තරම් වටිනා ජංගම දුරකථන භාවිතා කරන්නේ අප මිස ගමේ ගොඬේ එදා වේල සරි කර ගැනීමට මහ පොළව සමඟ පොර බදන නූගත් ගැමියන් නොවන නිසාය. එසේ නම් උගත් යැයි සම්මත අප ඔවුන්ගේ තත්වයට වඩා පහළ අඩියකට වැටෙනවාද නැතිනම් නූතන තාක්ෂණය දෙස ප‍්‍රඥාගෝචරව බලා ඒත් සමඟ ඉදිරියට යනවාද යන්න පිලිබඳව සිතා බැලීමට කාලය එළඹ තිබේ. බොහෝ කොට තුනීවට කපන ලද දෙයක වුවද පෙැත්තක් ඇත්තා සේ නූතන තාක්ෂණයේද හොඳ මෙන්ම නරක ද දක්නට ලැබේ. එය මැනවින් වටහාගත හැකි නම් රුපියල් සත මත සියල්ල තීරණය වන නූතන ලෝකයේ අප උන්මත්තකයන් බවට පත් නොවනු ඇත.

Wednesday, June 13, 2018

පුවත්පත් කාටූන් කලාව


                                         
                            ශිෂ්ටාචාරගත  වීමට පෙර මානවයා තම අදහස් සහ හැඟීම් ප‍්‍රකාශ කිරීමට විවිධ ක‍්‍රම අනුගමනය කළේ ය. විවිධ ඉඟි, බිඟි, ශබ්ද අනුකරණය, අවයව චලනය, ස්පර්ශය, ද්‍රව්‍ය එකිනෙකට ගැටීමට සැලැස්වීම ඒ අතර සුලභ වූ අතර විවිධ පෘෂ්ඨයන් මත සතුන්ගේ ලේ, ශාක යුෂ, අඟුරු, මැටි ආදියෙන් කුරුටු ගෑමට යොමු වීම එහි වර්ධනීය තත්වයක් ලෙස හඳුනාගත හැකිය. ඒ සඳහා හොඳම උදාහරණ ‘ප‍්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා’ ගුහා චිත‍්‍රවලින් හමු වෙයි. මෙම ගුහා චිත‍්‍ර වර්තමාන චිත‍්‍ර කලාවේ ප‍්‍රාථමික අවධිය ලෙස හඳුනාගත හැකිය. චිත‍්‍ර කලාවේ ද විවිධ ප‍්‍රභේද පවතී. ඒ අතර පුවත්පත් කාටූන් චිත‍්‍ර කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. 

                      යුරෝපයේ ඇති වූ කාර්මීකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ලේඛනය, චිත‍්‍ර, සංගීතය, ගණිතය, මූර්ති, සාහිත්‍ය, විද්‍යා ක්ෂේත‍්‍රයන්හි පුළුල් දියුණුවක් ඇති විය. ඒ තුළින් මිනිසාට තම අදහස් ප‍්‍රකාශ කිරීමේ පහසු මාර්ගයන් විවෘත විය. සමාජයේ පවතින දුර්වලතා උපහාසයට ලක් කරමින් විනෝදාත්මක මාධ්‍යයක් ලෙස 15, 16, 17 සියවස් වලදී ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ වෙනත් යුරෝපීය රටවල් වල ‘කැරිකේචර් චිත‍්‍ර’ හෙවත් කාටූන් චිත‍්‍රවල ආරම්භය සිදු විය. 17, 18 සියවස්වල මුද්‍රණ ශිල්පයත් සමග පුවත්පත් මාධ්‍ය ප‍්‍රචලිත වීමත් සමග මෙතෙක් පති‍්‍රකා වලට පමණක් සීමා වූ කාටූන් චිත‍්‍ර පුවත්පතට එක්විය. එසේ පුවත්පතට එක් වීමත් සමඟ  පුවත්පතට වැඩි වටිනාකමක් හිමි විය. 

               ශී‍්‍ර ලංකාවේ පුවත්පත් කාටූන් කලාවට යුරෝපයේ කාටූන් කලාවේ ආභාෂය බලපා තිබෙන අතර දේශීය සංස්කෘතියේ විවිධ කලාවන්ගේ ආභාෂය ද ඊට ලැබී ඇති බව පෙනේ. විහාර ගෙවල්වල ඇති සිතුවම්, මූර්ති, කැටයම්, වෙස්මුහුණු, කෝලම් හා කැලෑ පත්තරවල ආභාෂය ද දේශීය කාටූන් කලාවට බලපා තිබේ. ලංකාවේ දැනට දේශපාලන කාටූන්, පොකට් කාටූන්, කාටූන් චිත‍්‍ර කතා දක්නට ලැබේ. දේශපාලන කාටූන් තුළින් රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව ද පොකට් කාටූන් මගින් සමාජ, සංස්කෘතික කාරණා පිළිබඳව ද කාටූන් චිත‍්‍රකතා කොටස් වශයෙන් කතාන්දර ස්වරූපයෙන් ද නිර්මාණය වේ. මේ අතර දේශපාලන කාටූන් සඳහා පුවත්පත් තුළ විශේෂ ස්ථානයක් හිමි වේ. ඔබි‍්‍ර කොලට්, යූනුස්, ජී.එස්. ප‍්‍රනාන්දු, ඩබ්.ආර්. විජේසෝම මුල් කාලයේ සිටි කීර්තිමත් කාටූන් ශිල්පීන් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ කැමිලස් පෙරේරා, දාස හපුවලාන, විනී හෙට්ටිගොඩ, එම්.ඞී. වීරරත්න, තලංගම ජයසිංහ, රුවන් තරස්වින්, පී‍්‍රති කන්නංගර, අවන්ත ආටිගල වැනි දක්ෂ කාටූන් ශිල්පීන් පිරිසක් ද දක්නට ලැබේ.

                 පුවත්පතකින් සිදුවන තොරතුරු සම්පාදනයට එහා ගිය කාර්යභාරයක් කාටූනය තුළින් සිදු වෙයි. පුවත්පතක පල වන ප‍්‍රවෘත්තියකට වාර්තාකරුවාට වචන දහස් ගණනක් අවශ්‍ය වේ. එහෙත් දක්ෂ කාටූන් ශිල්පියාට වචන වලට කාලය නාස්ති නොකර පින්සල් ඉරි කිහිපයකින් සමාජ ප‍්‍රශ්නයක්, විවේචනයක්, විරෝධයක්, උපහාසයක් කාටූන් තුළින් නිර්මාණය කල හැකිය. එහි පවතින සුවිශේෂීත්වය එයයි. දේශපාලන කාටූන් තුළින් බොහෝ විට උපහාසයට ලක් කරන්නේ දේශපාලඥයන්ගේ සහ සමාජයේ ප‍්‍රසිද්ධ චරිතවල පවතින දුර්වලතාවන්ය. කාටූන් ශිල්පියා මේ තුළින් අදාළ චරිතය හෑල්ලූවට ලක් කිරීමට අපේක්ෂා නොකරන අතර එතුළින් වැරදි නිවැරදි කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් සපයයි. කාටූන් ශිල්පියාට අවට සමාජය ගැන පෘථුල දැනුමක් තිබිය යුතුය. එසේ නැතිනම් ඹහුට කාටූන් ශිල්පය නිවැරදිව සිදු කළ නොහැකිය. කිසියම් සංකීර්ණ කරුණක් පවා කාටූන් තුළින් සරළව විග‍්‍රහ වන නිසා කිසිඳු සාක්ෂරතාවයක් නොමැති පුද්ගලයෙකුට පවා එය පහසුවෙන්ම අවබෝධ කරගත හැකිය.

                        ”දක්ෂ දේශපාලන කාටූන් ශිල්පියෙකුට හාස්‍යය විසිතුරු ලෙස දකින සියුම් ඇසකුත්, අදහස් හා චිත්ත රූප අතර සම්බන්ධතාව පිළිබඳ තියුණු හැඟීමත්, හාස්‍යය හා උපහාසය ජනනයෙහි සමත් බුද්ධිමත් මනසක් හා චිත‍්‍ර ඇඳීමේ සුවිශේෂී හැකියාවක් මෙන්ම ස්ථීර හස්තයක් ද තිබිය යුතුය.” යනුවෙන් ‘සන්ධ්‍යා ගජාර්’ ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පතට වරෙක ප‍්‍රකාශ කළේය. 
කාටූන්වලට ආවේණික වූ විශේෂ ලක්ෂණ රාශියකි. එනම්,
පුද්ගල දුර්වලතා විවේචනය
සමාජ ගැටළු නිරූපණය
උපහාසත්මක බව 
විවිධ සංකේත, ව්‍යංග භාවිතය
යටිපෙළ අරුත් ගැබ් වීම
ලංකාවේ කාටූන් ශිල්පීන් ගත්විට ඔවුන්ගේ කාටූන් ශිල්පයේ විවිධ ආවේණික ලක්ෂණ දක්නට ලැබේ. එනම්,
සංකේත භාවිතය
සිරස්තල යෙදීම
දෙබස් භාවිතය
කවි භාවිතය
ප‍්‍රධාන චරිතයන් තිබීම
අතිශයෝක්තිය
එළිය, අඳුර භාවිතය

                                    මුල් කාලයේ පැන්සලෙන් කාටූන් චිත‍්‍ර ඇඳීම ආරම්භ වූ අතර එය ක‍්‍රම ක‍්‍රමයෙන් පෑන, පින්සල, ප්ලැටිග්නම් දක්වා ව්‍යාප්ත වී අදවන විට මෘදුකාංග ඔස්සේ කාටූන් අඳින තත්වයට වර්ධනය වී ඇත. එසේම අද වන විට කළු, සුදු කාටූන් කලාවේම රැුඳී නොසිට වර්ණ කාටූන් කලාව දක්වා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් කාටූන් ශිල්පියාට එදා මෙන්ම අද ද දේශපාලන, ආර්ථීක බලපෑම්වලට ලක් වෙමින් තම රැුකියාව සිදු කිරීමට සිදුව තිබේ. 

When i saw you first

When I saw you first My heart beat was suddenly stopped When I saw your laugh I forgot whole world around me When I saw yo...